සෞඛ්‍ය පද්ධතියේ සිදුවෙන බිඳ වැටීමෙන් මාරාන්තික ප්‍රතිඵල උදාකරනු ඇත

සෞඛ්‍ය පද්ධතියේ සිදුවෙන බිඳ වැටීමෙන් මාරාන්තික ප්‍රතිඵල උදාකරනු ඇත

දිනෙන් දින උග්‍ර වන අර්බුදකාරී වටපිටාව තුල සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමකින් තොරව පවත්වා ගැනීම සදහා බලධාරීන් සතු වගකීමක් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

වත්මන් ආර්ථික අර්බුදය හරහා ජන ජිවිත උඩු යටිකුරු වී හමාර පසුබිමක ජනතාවගේ ජිවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ඇති සෞඛ්‍ය පද්ධතියේ සිදුවෙන බිඳ වැටීමක් මාරාන්තික ප්‍රතිඵල උදාකරනු ඇති බව අවිවාදිතය.

මේ වන විට මතුවෙමින් පවතින ප්‍රවනතාවයන් නිසි ලෙස කළමණාකරණය නොකලහොත් සෞඛ්‍ය පද්ධතියේ තීරණාත්මක බිඳ වැටීමක් නොවැලැක්විය හැකි වනු ඇත. එ් හරහා සිදුවනුයේ ජනතාව කබලෙන් ලිපට වැටීමයි.

ඉදිරි කාලය තුල සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටිිම සඳහා තීරණාත්මක ලෙස බලපෑ හැකි ප්‍රධාන කරැණු 2 ක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස හඳුනාගෙන ඇත.

  1.  අත්‍යවශ්‍ය ජිවිතාරක්ෂක ඖෂධ ඇතුලු රෝගී තත්ත්වයන් සඳහා සුලභව භාවිතා කරන ඖෂධ වල හිඟය.
  2. පවතින ඉන්ධන අර්බුදය හමුවේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට රෝහල් වෙත වාර්තා කිරිිමට ඇති වන බාධාකාරී තත්ත්වයන්.

මෙම කරුණු 2 සඳහා කඩිනම් හා ප්‍රායෝගික විසදුම් ක්‍රියාත්මක කිරිිමකින් තොරව සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීම වළක්වා ගත නොහැකි වනු ඇත.

  • ඖෂධ හිගය

රෝහල් පද්ධතිය තුල මේ වන විට මතුව ඇති ඖෂධ හිගය හුදෙක් ආර්ථික අර්බුදය හරහාම නිර්මාණය වු තත්ත්වයක් නොවන බව පැහැදිලිය.

ඖෂධ ලියාපදිංචිය, ඇණවුම් කිරීම හා බෙදාහැරීම යන විවිධ පියවරයන්ගේ පවතින අකාර්යක්ෂමතාවය හා දුෂිත ගණුදෙනු මේ සදහා ඍජුවම බලපෑ බව අවිවාදිතය.

ඒ අනුව,

  1.  රාජ්‍ය වියදම් ප්‍රමුඛතා ගත කිරීමේදි රෝහල් පද්ධතිය තුල අත්‍යවශ්‍ය ජිවිතාරක්ෂක ඖෂධ ඇතුලු සුලභව භාවිතා කරන ඖෂධ මිලදි ගැනීම සදහා අවශ්‍ය මුදල් බාධාවකින් තොරව ලබා දීය යුතුය.
  2. දිවයින පුරා රෝහල් පද්ධතිය තුල ඖෂධ භාවිතා කිරීමේ රටාවන් හඳුනාගෙන අඛණ්ඩ සැපයුමක් ඒකාකාරී ලෙස සහතික කළ යුතුය.
  3. මේ වන විටත් ලැබි ඇති හා ලැබෙමින් පවතින ඖෂධ සඳහා වන ආධාර හා පරිත්‍යාග නිසි ලෙස කලමණාකරණය කර කාර්යක්ෂම ලෙස දිවයින පුරා බෙදාහැරීම සහතික කළ යුතුය.
  • ඉන්ධන අර්බුදය හරහා සෞඛ්‍ය කාර්යමණ්ඩලයට සේවයට වාර්තා කිරිිමට නොහැකි වීම.

රෝහල් වෙත ඖෂධ ඇතුලු සියලු පහසුකම් ලබා දුන්නද රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා රෝහල් තුල වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩලය නොමැති නම් ඖෂධ පද්ධතිය බිඳවැටීම වළක්වා ගත නොහැකි වනු ඇත.

අවසානයේ සිදුවනු ඇත්තේ වැඩවර්ජන ක්‍රියාමාර්ග වලට හෝ කිසිදු විටක සම්බන්ධ කර නොගන්නා පිලිකා රෝහල්, මාතෘ හා ළමා රෝහල් හා වකුගඩු රෝහල් ඇතුලු සමස්ථ රෝහල් පද්ධතියම කඩා වැටීමයි.

ඒ අනුව,

  • රට තුල පවතින සිමීත ඉන්ධන තොග භාවිතය සඳහා නිසි ප්‍රමුඛතා ලැයිස්තුවක් බලධාරීන් විසින් සකස් කළ යුතුයි. එහිදි සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවකට (Essential Service) අමතරව හදිසි සේවාවක් (Emergency Service) බව අමතක නොකළ යුතුය.
  • සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සේවා ස්ථාන වලට වාර්තා කිරීමට අවශ්‍ය වන ඉන්ධන ලබා ගැනීම සදහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් සකස් කර ප්‍රකාශයට පත් කළ යුතුය.

මේ පිළිබඳව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස පසුගියදා කළ සාකච්ඡාවේදි එතුමාගේ පාර්ශවයෙන් ලද සුභදායි ප්‍රතිචාර මෙම සතිය තුල වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය.

  • පොදු ප්‍රවහාන සේවාවන් කෙටි කාලීන වැඩපිළිවෙලක් හරහා ශක්තිමත් කිරීම තුලින් සෞඛ්‍ය කාර්යමණ්ඩල වල හැකි සියලුදෙනා එම සේවාවන් භාවිතා කිරීම දිරිමත් කළ යුතුය. එ් සඳහා පහසුකම් සැපයීය යුතුයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අප විසින් ඉහත පෙන්වා දුන් කරුණු සඳහා නිසි අවධානය යොමු කොට ජනතාවගේ ජිවත් වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ක්‍රියාකිරීම බලධාරීන්ගේ වගකීම බව අවධාරණය කරමු.