ශ්‍රී ලංකාවේ දරුවන් වෙනුවෙන් යුනිසෙෆ් ඩො.මිලියන 25ක් සොයයි

ශ්‍රී ලංකාවේ දරුවන් වෙනුවෙන් යුනිසෙෆ් ඩො.මිලියන 25ක් සොයයි
යුනිසෙෆ් සංවිධානය ශ්‍රී ලංකාවේ ළමයින් මිලියන 1.7 ක් සඳහා මානුෂීය ආධාර සැපයීමට ඩොලර් මිලියන 25 ක් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා තිබේ. 
 
මෙරට හඳුනාගත් අවදානම් සහිත එම ළමුන්ගෙන් බොහෝ දෙනෙකු මන්දපෝෂණය හා සම්බන්ධ හේතූන් නිසා මියයාමේ අවදානමක් ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.
 
ශ්‍රී ලංකාව 1948 නිදහස ලබා ගැනීමෙන් පසු එහි දරුණුතම ආර්ථික අර්බුදයට මේ වනවිට මුහුණ දී සිටින බව පෙන්වා දෙන යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරන පරිදි මිලියන 5.7 කට ආසන්න ළමයින්ගෙන් අඩකට මානුෂීය ආධාර අවශ්‍ය බව පෙන්වාදෙයි.
 
මෙරට සෑම ළමයින් දෙදෙනකුගෙන් එක් අයෙකුට පෝෂණය, සෞඛ්‍ය සේවා, පිරිසිදු පානීය ජලය, අධ්‍යාපනය සහ මානසික සෞඛ්‍ය සේවා ඇතුළු හදිසි ආධාර අවශ්‍ය බව ඔහු අවධාරණය කරයි.
 
දකුණු ආසියාවේ වයස අවුරුදු 5 ට අඩු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් දෙවන ඉහළ අනුපාතයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වේ.
 

කෙසේ වෙතත් අවදානමට ලක්ව සිටින දරුවන්ට අවශ්‍ය උපකාර ලබා ගැනීමට යුනිසෙෆ් සංවිධානය කාලය සමඟ තරඟයක යෙදී සිටින අතර උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන ළමයින් 56,000කට ප්‍රතිකාර කිරීම ඔවුන්ගේ ඉලක්කය වී තිබේ.