මන්ද පෝෂණය අවම කිරීමට වෛද්‍ය සංගමයෙන් පස්වැදෑරුම් වැඩපිළිවෙලක්

මන්ද පෝෂණය අවම කිරීමට වෛද්‍ය සංගමයෙන් පස්වැදෑරුම් වැඩපිළිවෙලක්

පවතින අර්බුදකාරි වාතාවරණය මධ්‍යයේ උග්‍රවන පෝෂණ ගැටලු තුලින් මන්ද පෝෂිත අනාගත පරපුක් බිහිවීමේ අවදානමක් පවතින බවත්, මෙම තත්ත්වය යම් මට්ටමකින් හෝ කළමණාකරණය කර ගනිමින් පෝෂණ ගැටලු වල බලපෑම් අවම කර ගැනිමත්, අනාගත පරපුර මන්දපෝෂණයේ ගොදුරු බවට පත් නොවීමත් සහතික කිරීම සදහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස පහත පස්වැදෑරුම් යෝජනා ඉදිරිපත් කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.

්‍එම නිවේදනයට අනුව, පවතින ආර්ථික අර්බුදයට ලැබෙන විසදුම් පිලිබද පැහැදිලි විශ්වාසනීයත්වයක් නොමැති පසුබිමක සමාජය තුල ඒ හරහා විවිධ අතුරු ගැටලු ගණනාවක් මතුවෙමින් පවතී.

ආර්ථික ගැටලු සමග මතුව ඇති ජිවන වියදම පිලිබද ගැටලුව ජනතාවගේ ආහාර වේල කෙරෙහිද දරුණු ලෙස බලපාමින් සිටි.

මහ බැංකු වාර්ථාද පෙන්නුම් කරන පරිදි විවිධ ක්ෂේත්‍ර වල උද්ධමනයන් සන්සන්දනය කිරීමේදී පසුගිය කාලය තුල ආහාර ද්‍රව්‍ය වල මිල ඉහල යාම කැපී පෙනෙයි.

ඔරොත්තු නොදෙන ආහාර මිලත්, ආහාර හිගයත් යන කරුණු දෙක නිවසේ ආර්ථිකය තුල කළමණාකරණය කර ගැනීම සදහා බහුතරයක් ජනතාව ප්‍රධාන විකල්ප 02 ක් වෙත යොමු වෙමින් සිටී.

01.        ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීම

02.        ආහාරයේ ගුණාත්මක බව අඩු කිරීම

යුනිසෙෆ් සංවිධානය මගින් ශ්‍රී ලංකාව තුල පසුගිය කාලය තුල සිදුකල සමීක්ෂණ මගින්ද තහවුරු වී ඇත්තේ සෑම ශ්‍රී ලාංකික පවුල් 10 කින් 7 ක්ම මෙලෙසින් කටයුතු කරමින් සිටින බවයි.

ජනමාධ්‍ය වාර්තා කල පරිදි මේ වන විටත් සමස්ත ශ්‍රී ලාංකික ජන ගහණයෙන් 25% කට වැඩි පිරිසක් එනම්, ලක්ෂ 50 කට වැඩි ගණනක් මෙම ප්‍රමාණාත්මික හා ගුණාත්මක ආහාර වේලක් සපයා ගැනිමේ ගැටලුවට උග්‍ර ලෙස මුහුණ‌ දෙමින් පවතී.

සෞඛ්‍ය ක්ශේත්‍රයට සම්බන්ධ වෘත්තීය සංවිධානයක් ලෙස අප නිරික්ෂණය කරනුයේ පවතින තත්ත්වයට නිවැරදි හා කඩිනම් විසදුම් ලබා නොදුනහොත් දැනටමත් යම් මට්ටමකින් පවතින පෝෂණ ගැටලු මන්දපෝෂිත අනාගත පරපුක් බිහි කිරීම දක්වා ඔඩුදුවා යා හැකි බවයි.

විශේෂයෙන්ම ළමා මන්ද පෝෂිත තත්ත්වයක් පිලිබද අවදානම බැහැර කල නොහැක.

යුනිසෙෆ් සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන පරිදි ළමා මන්ද පෝෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 7 වන ස්ථානයේ පසුවන අතර දකුණු ආසියා කලාපයේ දෙවන තැන පසුවේ. අපේ කලාපය තුල අප දෙවෙනි වනුයේ ඉන්දියාවට පමණි.

ළමා රෝහල ආශ්‍රිතව මෑතකදී කල සමීක්ෂණයකට අනුවද රෝහල් ගත කල ළමුන් අතර මන්දපෝෂීත තත්ත්වය 20% කට වඩා වැඩි බව හෙලිදරව් වී ඇතැයි ජන මාධ්‍ය වාර්තා පල විය.

ආහාර මිල ගණන් ඉහල යාම, පාසල් දිවා ආහාර වේල සදහාද ඉතා අහිතකර ලෙස බලපා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග ඔස්සේ තහවුරු වෙමින් පවතී.

සමස්තයක් වශයෙන් මිලියන 1.7 කට වැඩි ළමා ජනගහණයක් පෝෂණ ගැටලු හරහා මන්ද පෝෂණ තත්ත්වයක් කරා ගමන් කිරීමේ අවදානමට ලක්ව ඇති බව ඉතා බැරූරුම් ලෙස සැලකිල්ලට ගත යුතුය.

පවතින තත්ත්වය යම් මට්ටමකින් හෝ කළමණාකරණය කර ගනිමින් පෝෂණ ගැටලු වල බලපෑම් අවම කර ගැනිමත්, අනාගත පරපුර මන්දපෝෂණයේ ගොදුරු බවට පත් නොවීමත් සහතික කිරීම සදහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස පහත පස්වැදෑරුම් යෝජනා ඉදිරිපත් කරමු.

  1.  පවතින තත්ත්වය පිලිබද විද්‍යාත්මක පදනමකින් යුත් පසු විපරමක් සිදුකර දිවයින පුරා ළදරු ළමා පෝෂණ තත්වයන් හා ඒ හරහා මන්දපෝෂණයට ඇති සැබෑ අවදානම තක්සේරු කල යුතුය.
  2. ආහාර පිලිබදව ඇති මිත්‍යා මත පිලිබද සැබෑ අවබෝධයක් ලබා දීමත් විකල්ප ආහාර වර්ග හරහා ගුණාත්මක ආහාර වේලක් සහතික කර ගන්නා ආකාරය පිලිබද ජනතාව දැනුවත් කිරීමත් කල යුතුය. පෝෂදායී ආහාර වේලක් පිළිබද මූලික සංකල්ප ජනතාව වෙත ලබා දිය යුතුය.
  3. ගෙවතු වගාව හා සත්ව පාලනය (ධිවර කර්මාන්තයද ඇතුලත්ව) පිලිබද දැනටමත් ක්‍රියාත්මක දිරි ගැන්වීමේ වැඩ පිලිවෙල කඩිනම් ජාතික වැඩසටහනක් දක්වා පුලුල් කොට ප්‍රකාශයට පත් කල යුතුය.
  4. ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රභවයක් සහිත (උදා - මස් /මාලු/ කිරි /බිත්තර /කරවල වැනි) ආහාර වේලක් පිලිබද ජනතාව දැනුවත් කර අඩු ආදායම් පවුල් සදහා විශේෂයෙන් ඉලක්ක කර ගත් ඒ් සදහා වන සහන වැඩ පිලිවෙලක් සකස් කල යුතුය. ඉදිරි අතුරු අය වැය හරහා මේ සදහා මුදල් වෙන් කල යුතුය.
  5. ගර්භණී මව්වරුන් හා ගැහැණු දරුවන් විශේෂයෙන් ඉලක්ක කර ගත් පෝෂණය ඉහල නැංවීමේ වැඩ සටහනක් මගින් මන්දපෝෂණයේ විෂම චක්‍රය බිද දැමිමට මැදිහත් විය යුතුය.

දැනටත් පවතින පෝෂණ ගැටලු වඩාත් බැරැරුම් මන්දපෝෂිත තත්ත්වයක් කරා ගමන් කිරීමට ඇති ඉඩ කඩ හැකි සෑම අදියරයකදීම ව්‍යර්ථ කිරිම බලධාරින් සතු වගකීමක් බව සිහිපත් කරමු.