අර්බුද සමයේ ගර්භණී මවුවරුන්ගේ අවධානය සඳහා

අර්බුද සමයේ ගර්භණී මවුවරුන්ගේ අවධානය සඳහා

දැනට ලංකාව තුළ පවතින අවිනිශ්චිත සමාජීය, ආර්ථික තත්වයන් සහ ප්‍රවාහන සේවාවේ  ගැටලුකාරී තත්ත්වය නිසා දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන ඕනෑම මවකට ඒ සඳහා වෙනදාට වඩා වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යාවශ්‍ය වනවා. ඒ අනුව ඔවුන් සියලු දෙනාමත්, ඔවුන්ගේ පවුල්වල අයත් පහත කරුණු පිළිබඳව හොඳින් දැනුවත් වීම ඉතා වැදගත් වනු ඇත.

පළමුවෙන්ම මතක තබාගත යුතු වැදගත්ම කරුණ වන්නේ, ඕනෑම තත්ත්වයක් යටතේ දී, දරු ප්‍රසූතියක් සඳහා සුදුසුම ස්ථානය රෝහලක් බවයි. පරිණත දැනුමක් සහ අත්දැකීම් සහිත කාර්ය මණ්ඩලයක් සිටින අවශ්‍ය පහසුකම් ද සහිත ස්ථානය රෝහල බැවින් කිසිවිටෙකත් නිවෙස් ගත දරු ප්‍රසූති සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශ නොකරන අතර එවැනි තත්ත්වයක් සිදුනොවීම සඳහා ගර්භනී මව්වරුන් තම ප්‍රදේශයට අදාළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සමග කල් ඇතිව සාකච්ඡා කොට සුදුසු සැළසුම් සකසා ගත යුතු වනවා.

නිවෙස් තුළ සිදුවන දරු ප්‍රසූති වල දී මවගේ ජීවිතයටත් අලුත උපන් දරුවාගේ ජීවිතයටත් සංකූලතා ඇති වීමේ අවදානම බොහෝ ඉහළයි. දරු ප්‍රසූතියෙන් අනතුරුව (පසු ප්‍රසව) අධි රුධිර වහනය වැනි සංකූලතා හරහා මවගේ ජීවිතයට සහ විෂබීජ ශරීරගත වීම සහ ශ්වසන අපහසුතා හරහා අලුත උපන් දරුවාගේ ජීවිතයට වුව ද බරපතල අවදානම් තත්වයන් ඇතිවිය හැකි බව අප හොදින් මතක තබා ගත යුතුයි. දැනට ලංකාවේ සිදුවන දරු උපත් වලින් 99.9% ක්ම රෝහල් තුල සිදු වීම, ඉහත කී සංකූලතා බොහෝ සෙයින් වලක්වාගනිමින් , මාතෘ මරණ සහ ළදරු මරණ අවම රටක් ලෙස නිරන්තර ඇගයීමට ලක්වීමට හැකි වන මට්ටමට ලඟා වීමට විශාල පිටුබලයක් වී තිබෙනවා.

පවතින වාතාවරණය නිසා හදිසි අවස්ථාවක දී රෝහලක් වෙත ගමන් කිරීම ගැටළුවක් වනු ඇතැයි සැකයක් වේ නම්,  අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමා/ තුමිය සමඟ සාකච්ඡා කොට දරු ප්‍රසූතිය සඳහා නියමිත දිනට පෙර වුව ද රෝහල්ගත වී අදාල සේවාවන් සපයා ගැනීමට යොමුවිය හැකියි.

මෙහිදී මතක තබා ගත යුතු තවත් වැදගත් කාරණයක් වනුයේ ගර්භනී කාලය තුලදී කිසිදු සංකූලතාවයක් නොපෙන්වන මවකට වුව ද ප්‍රසූතිය සම්බන්ධ සංකූලතා ඕනෑම අවස්ථාවක දී ඇතිවිය හැකි බවයි. එම නිසා එවැනි හදිසි අවස්ථාවක රෝහල් ගත වන ආකාරය පිළිබඳව තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සහ පවුලේ අනෙක් අය සමග සාකච්ඡා කොට සුදුසු ක්‍රියාදාමයක් මුල සිටම පිළියෙල කර තබා ගැනීම වැදගත් වනු ඇති.

ගර්භනී මව්වරුන් දරු ප්‍රසූතියේ ලක්ෂණ සහ ඇති විය හැකි සංකූලතාවල ලක්ෂණ පිළිබඳව ඉතා හොඳින් දැනුවත් විය යුතුයි. මේ පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ගෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි අතර මෙවැනි අවදානම් තත්ත්වයක ලක්ෂණ පහළ වූ විගස හැකි ඉක්මනින් රෝහල් ගත විය යුතු අතර තමාට ප්‍රවාහන සේවා සපයා ගත නොහැකි අවස්ථාවක දී සුවසැරිය ගිලන් රථ සේවාව හරහා එම පහසුකම් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එවැනි දුෂ්කර අවස්ථාවක දී තවදුරටත් කාලය අපතේ නොයවා හැකි ඉක්මනින් 1990 අංකය හරහා මෙම සේවාව සමග සම්බන්ධ වීමට කටයුතු කිරීම ඉතා වැදගත්. පැය 24 පුරාම මෙවැනි හදිසි අවස්ථාවක දී සේවා සැපයීමට රජයේ රෝහල් බැඳී සිටින බැවින්, ප්‍රමාදයකින් තොරව රෝහලට යොමු වුවහොත් අදාල සේවාවන් නොඅඩුව ලබාගත හැකි වනු ඇති.

පෙර කී පරිදි ම, අනාදිමත් කාලයක සිට ආසියාවේ අඩුම මාතෘ සහ ළදරු මරණ අනුපාතිකයක් සහිත විශිෂ්ටතම ළමා හා මාතෘ සේවාවක් සැපයීමට නම් දැරා ඇති ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාව මෙම දුෂ්කර කාල පරිච්ඡේදය තුළදීත් අඛණ්ඩව පවත්වාගෙන යෑමට සහය වීම අප සියලු දෙනාගේම වගකීමක් වන අතර ලංකාවාසි ඔබ සියලු දෙනාගේම සහාය ඒ සඳහා අපට විශාල ශක්තියක් වනු ඇති බව මේ මොහොතේ අප අවධාරණය කරනවා.

(සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ පණිවිඩයකි)