දේශපාලන ස්ථාවරත්වය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම ශක්තිමත් කරමින් ආර්ථිකය යළි පිළිසකර කිරීම වෙනුවෙන් ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන පහත නම් සඳහන් වෘත්තීය සමිති යෝජනා මාළාවක් ඉදිරිපත් කර ඇත.
එම යෝජනා මෙසේය,
නව විධායක ජනාධිපතිවරයෙකු පළමු වරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඔවුන් අතුරෙන් ලබන 20 වන දින පත් කරගනු ලැබීය. යම් දේශපාලන ස්ථාවරත්වයක් සඳහා එය එක්තරා ආකාරයකට, මේ ව්‍යවස්ථා රාමුව තුළ වහා ගත හැකි තාවකාලික පියවරක් යැයි ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන පහත නම් සඳහන් වෘත්තීය සමිතිවල මතය වේ.
සිව් මසක පමණ කාලයකට පෙර ගාලු මුවදොර පිටියේ ගොනු කෙරුණු විරෝධය ඒ වන විටත් රටේ පැවති සමාජ, ආර්ථික අර්බුදය හේතුකොට ගෙන ගාලු මුවදොර පිටියට ගොනු වූවකි. එසේ මුත් මේ කාලය පුරා ජනතාවගේ ප්‍රශ්න සමගින් ආර්ථික ක්‍රියාවලියේ නිෂ්පාදන කටයුතු හා සේවා සැපයුම් යහපත් ආකාරයෙන් පවත්වා ගැනීමේ විසඳුම් මෙතෙක් ලැබී නැත.
රජයේ කාර්යාල ක්‍රියාත්මක වන්නේ යලට, මහට ය. බරපතල ඖෂධ හිඟයක් ඇති රෝහල් සේවයද අසීරුවෙන් නඩත්තු කෙරෙන්නකි. කොරෝනා වසංගත සමයේ සිට පාසල් අධ්‍යාපනය මුළුමනින් මෙන් අඩාලව ඇතත් මේ දරුවන්ගේ අධ්‍යාපනය යළි ආරම්භ කිරීමට පාසල් විවෘත කළ නොහැකි තත්ත්වයකට රට පත්ව ඇත. එයින්ම කියැවෙන්නේ රටේ පොදු ප්‍රවාහනය ද ඉන්ධන හිග`ය සමග බිඳ වැටී ඇති බවය. ප්‍රවාහනය බිඳ වැටීම හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහනය ද ධීවර හා කෘෂි නිෂ්පාදන ද අඩාලව ඇත. විදුලි කප්පාදුව ඊට එකතුවන තවත් බරපතල අවුලකි. ඒ සියල්ල සමග දේශීය නිෂ්පාදනය බිඳ වැටීම හේතුවෙන් අවිධිමත් ක්ෂේත්‍රයෙහි ආදායම් ඉපැයූ දහස් ගණනක් අද අනාථව ඇත.
එවැනි පසු බිමක අපනයන නිෂ්පාදන ක්ෂේත්‍රය සැළකිය යුතු පසු බැමකට හසුව ඇත. මේ ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන් බහුතරය ග්‍රාමීය ප්‍රදේශ වලින් සංක්‍රමණය වූ ශ්‍රමිකයින්ය. ඔවුන්ගේ පදිංචිය එනිසා කාර්මික ප්‍රදේශවල නිත්‍ය පදිංචියක් නොවන, බෝඩිංකාර පැවැත්මක් බැව් කවුරුත් දනිති. පසුගිය මාස කිහිපයේ ආහාර සපයා ගැනීමේත් දෛනික ප්‍රවාහනයේත් එනිසාම සේවා වාර්තා කිරීමේත් අසීරුතාවන්ට ඔවුහු හසු වූහ. එය නිෂ්පාදනයට සෘජුව බලපාන්නට වූ අතර, විශේෂයෙන් මධ්‍යම පරිමාන නිෂ්පාදන ආයතන ඉන්ධන හිඟය සමග ඔවුන්ගේ ඇණවුම් සම්පූර්ණ කර ගැනීමේ අපහසුතාවන්ට මුහුණ දුන්හ. එවැනි අර්බුදකාරී පරිසරයක පෞද්ගලික හා රාජ්‍ය සංස්ථා ක්ෂේත්‍රවල සේවක සේවිකාවන්ට ඔවුන්ගේ ගැටළු වෙනුවෙන් සාධාරණ විසඳුම් ඉල්ලා සිටින්නට ඇති එකම රාජ්‍ය දෙපාර්තමේන්තුව වන කම්කරු දෙපාර්තමේන්තුවෙන් කිසිදු පිළිසරණක් බලාපොරොත්තු විය නොහැකි තත්ත්වයකට එම දෙපාර්තමේන්තුව පිරිහී ඇත.
මේ අවිනිශ්චිතතාවන් හා අස්ථාවරත්වය නිමා වීමේ පෙර ළකුණු දැකිය නොහැකි යැයි අප රටට ඇණවුම් ලබා දෙන සැපයුම්කරුවන් හා සන්නාහ හිමියන් මේ වනවිටත් ඔවුන්ගේ ඇණවුම් ඉදිරියේදී අපට ලබා දීම පිළිබඳව දෙගිඩියාවෙන් ඉන්නා බව ප්‍රධාන පෙළ ඇඟළුම් නිෂ්පාදකයෝ හොඳින් දන්නාහ. එවැනි තත්ත්වයකට අප පත් වුවහොත් විදේශ විනිමය අර්බුදය තව දුරටත් උග්‍රවන අතර, රැකියා දහස් ගණනින් අහෝසිවන බවද අප සිහි තබා ගත යුතුය.
තවමත් පවතින ආණ්ඩු පාලනය මේ තත්ත්වය සමනය කරගත හැකි අයුරු දේශපාලන පියවර ගැනීමක් අපි නොදකිමු. විවිධ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මකවන ජන සමාජයේ මූලික අවශ්‍යතා සපුරන බොහෝ ආයතන හදිසි නීතිය යටතේ ගැසට් නිවේදනයක් මගින් ආරක්ෂක අමාත්‍යංශය වෙත පවරා ගැනීම ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් වෙනුවෙන් හේතු නොවන්නකි. එය බලහත්කාර සමාජ නිහැඬියාවක් නඩත්තු කරන්නක් පමණි. ආයෝජකයින් පැමිණෙන්නේත් නිෂ්පාදන ක්‍රියාවලිය වඩා පලදායි ලෙස පවත්වා ගත හැක්කේත් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක බැව් අපි අවධාරණය කරමු. එබැවින් මේ තත්ත්වයට මුහුණ දිය හැක්කේ වඩ වඩාත් බලහත්කාර, අධිකාරවාදී පාලනයක් සඳහා පියවර ගැනීමෙන් නොවන බව අපි එකහෙළා කියමු.
මෙවැනි ඉතා අයහපත් දේශපාලන හැඩ ගැසීම් සමගින්වන බංකොලොත් ආර්ථිකයක ජනතා අවශ්‍යතාවන් වෙනුවෙන් විසඳුම් සකසා ගැනීම සඳහා ජුලි 20 වන දින පාර්ලිමේන්තුවෙන් තෝරා පත් කරගත් ජනාධිපතිවරයාට අප ඉතා දැඩිව කියන්නේ වහා මේ තත්ත්වයෙන් ජනතාව මුදවා ගැනීම සඳහා ඔවුන්ගේ කෙටි කාලීන සැළසුම ඉදිරිපත් කළ යුතු අතර, එහි පහතින් සඳහන් මෙම යෝජනා අනිවාර්යෙන්ම ඇතුළත් කර තිබිය යුතු යැයි කියා ය.
නීති සම්පාදනය හා ප්‍රතිපත්ති සැකසීම සැමවිටම සමාජ කතිකා සමගින් සිදුවිය යුතු යැයි අපි තරයේ විශ්වාස කරන හෙයින් මෙහි ඉහතින් සඳහන් යෝජනා අතුරෙන් එවැනි යෝජනා සහ ඊළඟ ආණ්ඩු පාලනයේ විසඳුම් සැළැස්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම, අවම සති 04 ක කාලයක් සමාජ කතිකාවකට බඳුන් කළ යුතු අතර ඒ වෙනුවෙන් රාජ්‍ය මාධ්‍ය විසින් දෛනිකව වැදගත් කාලයක් සහ ජන සහභාගීත්වයක් සංවිධානය කිරීමේ වගකීම ද ආණ්ඩුව භාර ගත යුතු යැයි අපි මෙයින් අවධාරණය කරමු.
නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ලංකා ජාතික වතු කම්කරු සංගමය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා නාවිකයින්ගේ සංගමය, එක්සත් කම්කරු සම්මේලනය, ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය, ලංකා වතු සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ජාතික සේවක සංගමය, අන්තර් සමාගම් සේවක සංගමය, ලංකා කම්කරු සම්මේලනය
