ඉදිරි කොවිඩ් රැල්ලක් වළක්වා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වෙයිද?

ඉදිරි කොවිඩ් රැල්ලක් වළක්වා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වෙයිද?

ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟහැර මීට පෙර කොවිඩ් වැලදුණු අයෙකුට පවා නැවත කොවිඩ් රෝගය වැලඳීම සඳහා හේතු විය හැකි BA.5 නම් නව කොවිඩ් ප්‍රභේදයේ බලපෑම හමුවේ ලොව පුරා රටවල් ගණනාවක කොවිඩ් රෝගය ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව රජයේ වෛද්‍යනිලධාරින්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ සඳහන් වන්නේ, ශ්‍රී ලංකාව තුලද මේ වන විට මෙම නව ප්‍රභේදය හමු වී ඇති අතර දෛනික රෝගීන් ගණන මෙන්ම මරණ ගණන ද සැලකිය යුතු මට්ටමකින් ඉහළ යමින් පවතී.

රට තුල සිදු කරන කොවිඩ් පරික්ෂණ ක්‍රමවේද ඉතා අවම මට්ටමක පවතින නිසා දිනපතා වාර්තා වන රෝගීන් ගණන 100 – 150 ක් අතර මට්ටමක පැවතියද සැබෑ රෝගීන් ගණන අති විශාල විය හැකි බව අතීත අත්දැකීම් විශ්ලේෂණය කරන විට පෙනී යයි.

වාර්තා වන රෝගීන් ගණනට සාපේක්ෂව ඉතා අසාමාන්‍ය මරණ ගණනක් දෛනිකව වාර්තා වීම මේ තත්ත්වය වඩාත් පැහැදිලි කරයි.

දෛනික මරණ ගණන ඊයේ දිනය වන විට 7 ක් වී ඇත. වාර්තා වන මරණ අතුරින් 80% කට වැඩි ගණනක් අවුරුදු 60 ට වැඩි වන අතර ඒ බහුතරයක් දෙනා වයසට අදාල කොවිඩ් එන්නත්කරණය සම්පූර්ණ කර නොතිබීම කණගාටුදායකය. මේ සියල්ල හරහා පෙන්නුම් කරනුයේ සිදුවන මරණ වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් වළක්වා ගත හැකි ඒවා බවයි. 

මේ තත්ත්වය කල්තියා අවබෝධ කරගත් අප සංගමය සෞඛ්‍ය බලධාරින් වෙතින් ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් සිදු කරන ලදී.

  1. සත්‍ය අවදානම ජනතාව වෙත සන්නිවේදනය කරමින් ජනතා සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කිරීම.
  2. විශේෂඥ උපදේශන ක්‍රියාවලියක් හරහා නිවැරදි ප්‍රතිපත්තිමය සහ තාක්ෂණික තීන්දු ප්‍රකාශයට පත් කරවීමට දේශපාලන අධිකාරියට බලපෑම් කිරීම.
  3. කොවිඩ් පාලන කටයුතු සඳහා ඍජු මැදිහත් වීම් සිදු කල සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ශක්තිමත් කර ඉදිරි රැල්ලක් වැලැක්වීමට සුදානම් වීම.

මෙම නිශ්චිත කරුණ සම්පූර්ණ කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් අනිවාර්යයෙන් කළ යුතු කාර්යයන් 2 ක් පිළිබඳව අප විසින් කරුණු ඉදිරිපත් කරන ලදී.

  1. සෞඛ්‍ය අමාත්‍යංශ මෙහෙයුම් මැදිරිය නැවත සක්‍රිය කිරීම.
  2. කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුව නැවත කැදවීම.

දෛනිකව වාර්තා වන රෝගීන් ගණන මෙන්ම මරණ ගණනද ඉහළ යන පසුබිමක ඉදිරි කොවිඩ් රැල්ලක් වළක්වා ගැනීමට අප මේ දක්වා ගෙන ඇති පියවර ප්‍රමාණවත්ද යන්න වහාම සමාලෝචනය කළ යුතුය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇති පරිදි ඉදිරි කොවිඩ් වසංගතය පාලනය කර ගැනීම සඳහා තහවුරු වී ඇති හොඳම ක්‍රමවේදය වන එන්නත්කරණය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට මීට වඩා සැලසුම්සහගත උත්සාහයක් ගත යුතු බව අවධාරණය කරමු.

විශේෂයෙන්ම අවදානම් කාණ්ඩායම් හඳුනාගනිමින් හා ඔවුන් ඉලක්ක කර ගනිමින් ශක්තිමත් එන්නත්කරණ වැඩපිළිවෙලක් දියත් කිරීමට වහා කටයුතු කළ යුතුය. වයස අවුරුදු 60 ට වැඩි ජනතාවගෙන් පරිපූර්ණ එන්නත් මාත්‍රා (Booster Dose) එකක් හෝ නොගත් සැලකිය යුතු ජනගහනයක් සිටීම ඉදිරියේදි කොවිඩ් මරණ ගණන ඉහළ යාම පිළිබඳ භයානක අනාවැකි ප්‍රකාශ කරමින් සිටියි.

පරිපූරක (Booster Dose) පළමු මාත්‍රාව තවමත් ලබා ගෙන ඇත්තේ ඉලක්ක ජනගහණයෙන් 50% කට මදක් වැඩි ප්‍රමාණයක් පමණක් වීමද අමතක නොකළ යුතුය.

පුද්ගල දුරස්ථභාවය, පුද්ගල ස්වස්ථතාවය, මුව ආවරණ භාවිතය හා නිවැරදි අත සේදීම යන කොවිඩ් පාලනය සඳහා අත්දුටු ප්‍රායෝගික ක්‍රමවේදයන් සමඟ කොවිඩ් එන්නත්කරණය නිසි ලෙස ඒකාබද්ධ කිරීමකින් තොරව ඉදිරි කොවිඩ් රැල්ලක් වළක්වා ගත නොහැකි බව පෙන්වා දෙමු.

ඒ සඳහා අප සියලු දෙනා සතු යුතුකම් හා වගකීම් මේ මොහොතේදීම ඉටුකළ යුත්තේ අනාගතයේදි විය හැකි භයානක ව්‍යසනයක් වළක්වා ගැනීම සඳහාය.