අරගලය ඉවර නෑ - දිනන තුරු හැරෙන්නේ නෑ (රවි කුමුදේස්)

අරගලය ඉවර නෑ - දිනන තුරු හැරෙන්නේ නෑ (රවි කුමුදේස්)

රනිල්, එයාගේ මාමා කරපු වැරද්දම කරලා වරද්දා ගන්නා බවත්, මේ අරගලය ඉවර නැති බවත්, දිනන තුරු හැරෙන්නේ නැත් බවත්, නුගේගොඩ පැවැති රනිල්-රාජපක්ෂ ආණ්ඩුවේ මර්ධනයට එරෙහි ජන රැලිය අමතා වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පැවැසීය.

ඒ මහතා වැඩිදුරටත් පවසා රැළිය අමතා ප්‍රකාශ කලේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එයාගේ මාමා වරද්දා ගත්ත තැන්වලින්ම මේ වෙලාවේ වරද්දා ගනිමින් ඉන්නවා.  අපි මතක් කරනවා ඔයා මාමාටත් වඩා ගොඩාක් වරද්දා ගන්නවා. මොකද ඔයාගේ මොළය 83, 84 හරියේ නැවතුනාට, ඔයා  හැප්පෙන්නේ එදා පරම්පාරවට වඩා ගොඩාක් වෙනස් පරම්පරාවක් එක්ක.

හදිසි නීතිය, ත්‍රස්ත නීතිය ගෙනල්ලා මර්ධනය කරන්න, මිනී මරන්න ඔයාටත් වඩා දක්ෂ අයට යන එන මං නැති වුණා. ඒ නිසා පරණ පාඩම් කියවන එක නවත්තලා අලුත් පාඩම කියෙව්වේ නැත්තං, ආයේ කියවා ගන්න.

ජනාධිපති කියන්නේ ජනතාවගේ ප්‍රධානියාට. එයාව පත් කරන්න ඕනේ ජනතාව. අපි දන්නේ නෑ ඔයා පොහොට්ටුවේ අධිපතිද, රූකඩේද කියලා. නමුත් ජනතාවගේ අධිපති නෙවේ. ඒ නිසා සදාකාලික ජනාධිපති වෙන්න හදන්න එපා.

ඒ නිසා ඔයාගේ පොදු සමාව අපිට විහිළුවක්. ඔයාට ඕනේනම් ඔයාට පොදු සමාවක් දෙන්න පුළුවන්ද කියලා අපි සලකලා බලන්නම්. හැබැයි ඔයා අරගලයට ගෞරව කරන්න ඉගෙන ගන්න ඕනේ. වෙන කාටත් වඩා ඔයා අරගලයට ගරු කරන්න ඕනේ, මොකද ඔයාට දවසකට දෙකකට හරි ඔය පුටුවේ ඉද ගන්න චාන්ස් එකක් ලැබුණේ මේ අරගලය නිසා.

ජනාධිපති මන්දිරයට ඇතුළු වෙච්ච එක වැරදියි නං, බැරියර් කඩපු එක වැරදියි, රටේ මිනිස්සු ලක්ෂ ගණනින් ඒකට ඇතුළු වෙලා ගෝඨාභයව එලෙව්ව එක වැරදියිනම්, ඔයා ජනාධිපති වෙච්ච එක හරි වෙන්නේ කොහොමද.

මර්ධනය කරලා බය කරලා ඔයා බය ඇර ගන්න හදන්න එපා. මර්ධනය කියන්නේ බැරිම එකාගේ වැඩක්. වැඩ්ඩෝ කරන්නේ වැඩ පිළිවෙලක් එක්ක වැඩ පෙන්නන එක.

මතක තියා ගන්න, මේ වෙනකං අරගලයේ අපේක්ෂාවන් කිසිවකට සාධාරණය ඉටුවෙලා නෑ. ඉටු කරන්න පුළුවන් වෙලත් නෑ. රටේ මිනිස්සු ඉල්ලන සමාජ පරිවර්තනය මොකද්ද කියලා අඩුම තරමින් තේරුං ගන්න පුලුවං කියලාවත් පේන්න නෑ.

ඒ නිසාම, ඒ අපේක්ෂාව ඉටු වෙනකන් අරගලය ඉවර  වෙන්නේ නෑ. දිනනකන් අපි හැරෙන්න ලෑස්තිත් නෑ

රට හදන්න වෙන විදිහකුත් නෑ. අපිට අරගලය හැර වෙන විකල්පයක් ඇත්තෙත් නෑ

අරගලයට ජයවේවා!!!