පවතින තත්ත්වය පිළිබඳ නිරවද්‍ය තොරතුරු වාර්තා කිරීමත්, අර්බුදකාරී තත්ත්වය නිවැරදි කිරීමත් සඳහා ගත යුතු පියවර නිර්දේශ කිරීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මඟින් මේ වන විට තාක්ෂණික කමිටුවක් පත් කර ඇති අතර එහි වාර්තාව මෙම සතිය අවසාන වන විට ලබා දීමට කටයුතු කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව විධායක සභාව මීට මාස 2 කට ප්‍රථම රාජකාරි ආරම්භ කළ මොහොතේ අප හඳුනාගත් සෞඛ්‍ය පද්ධතියට බලපාන ප්‍රධාන අභියෝග 2 ක් විය.
මේ අතරින් ඖෂධ හිඟය හා අසාමාන්‍ය ලෙස ඖෂධ මිල ඉහළ යාම හරහා උද්ගත වු අර්බුදය විටින් විට ඉතා දරුණු ලෙස හිස ඔසවමින් මේ දක්වාම ස්ථිර විසදුමකින් තොරව අඛණ්ඩව සමස්ථ සෞඛ්‍ය පද්ධතියේ පැවැත්මට දැවැන්ත අභියෝගයක් වී හමාරය.
මෑතකදි නිකුත් වූ විගණකාධිපති වාර්තා හරහා මෙන්ම පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම්කාරක සභාවේදිද හෙලිදරව් වූ පරිදි පවතින දැඩි ඖෂධ හිඟය සඳහා හේතු ගණනාවක් බලපා ඇති බව පැහැදිලිය.
මෙම සියල්ලේ අවසන් ප්‍රතිඵලය වී ඇත්තේ තම ජිවිත රැක ගැනීම සඳහා රෝහලට පැමිණෙන අසරණ රෝගියාගේ ජිවත් විමේ අයිතිය අවදානමට ලක් වීමයි.
රෝහල තුල ඖෂධ නොමැති වීට එම ඖෂධ බාහිරින් මිලදි ගැනීමට රෝගියාට සිදු වන අතර මේ වන විට ඖෂධ මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම තුල රෝගියා කබලෙන් ලිපට ඇද දමා ඇත.
ඒ අනුව මිල පාලනයක් ඇති කර ඒ සඳහා යම් සහනයක් ලබා දීමට රජය කටයුතු කළ යුතු බව අවධාරණය කරමු.
දිවයින පුරා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ශාඛා සංගම් මඟින් මේ වන විට පවතින ඖෂධ හිඟය හා මිල ඉහළ යාම නිසා ඇති වු අභියෝග පිළිබඳ කරුණු දැක්වීම් රාශියක් අප වෙත ඉදිරිපත්ව ඇත.
පවතින අසතුටුදායක හා අර්බුදකාරී තත්ත්වය නිවැරදි කිරීමට කඩිනමින් මැදිහත් වීම බලධාරීන් සතු අත්හල නොහැකි වගකීමකි.
පවතින තත්ත්වය පිළිබඳ නිරවද්‍ය තොරතුරු වාර්තා කිරීමත්, අර්බුදකාරී තත්ත්වය නිවැරදි කිරීමත් සඳහා ගත යුතු පියවර නිර්දේශ කිරීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මඟින් මේ වන විට තාක්ෂණික කමිටුවක් පත් කර ඇති අතර එහි වාර්තාව මෙම සතිය අවසාන වන විට ලබා දීමට නියමිතය.
ඒ අනුව පවතින අභියෝගාත්මක තත්ත්වයේ සැබෑ පසුබිමත්, ඒ සඳහා බලධාරීන් දක්වන නිද්‍රාශීලි ප්‍රතිපත්තියත් ඉදිරි කාලය තුලදී රට හමුවේ නිරාවරණය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස කිසිසේත්ම පසුබට නොවන බව දැඩිව අවධාරණය කරමු.
