දස වසරක මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය එළි දකී

දස වසරක මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය එළි දකී

දස වසරක් සඳහා වන ජාතික මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් (16) දින එම අමාත්‍යංශයේ දී එළිදක්වනු ලැබීය. මෙය ජාතික මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය ලෙසින් ක්‍රියාත්මක කෙරේ.

වසර දෙකකට අධික කාලයක් රට තුළ පැවති කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම ප්‍රතිපත්තිය එළි දැක්වීම ප්‍රමාද වූ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීමෙන් 2005 වසරේ දී ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ප්‍රතිපත්තිය මෙරට පිහිටවනු ලැබීය.

එවක පැවති සුනාමි ව්‍යසනයත් සමඟ රටේ ජනතාවගේ මානසික සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙය ආරම්භ කෙරුණු අතර සෑම දස වසරකට වරක් රටේ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් එය යාවත්කාලීන කෙරේ.

මෙවර ප්‍රතිපත්තිය එළි දැක්වීම හරහා “ප්‍රජාව තුළින් ම මානසික සෞඛ්‍යය ගොඩනැංවීම” යන තේමාව මූලික කරගනිමින්  ළමා හා වැඩිහිටි මානසික සෞඛ්‍ය ගොඩනැංවීම,හිංසනය වැලැක්වීම,සියදිවි හානි වීම් අවම කර ගැනීම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය, මානසික රෝගී තත්ත්ව වලින් පෙළෙන්නන්, පුනරුත්ථාපනය,සේවාලාභීන්ගේ ගුණාත්මක භාවය වැඩි කිරීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කර තිබේ.

මෙයට සමගාමීව ජාතික මානසික උපකාරක සේවය (1926) ද අද අමාත්‍යවරයා විසින් එළි දැක්වුණු අතර ඉන් දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මානසික සෞඛ්‍ය උපකාරක සේවාව දිස්ත්‍රික් මට්ටමින් හා  ජාතික මට්ටමින් ලබාගත හැක.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම්වරුන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) වෛද්‍ය එස්. ශ්‍රීදරන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය එන්. වී. ආර්. රත්නායක ඇතුළු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරුන් ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.