ජනතාව ගොනාට අන්දන්න එපා - සෞඛ්‍ය අමාත්‍යවරයාට විවෘත ලිපියක්

ජනතාව ගොනාට අන්දන්න එපා - සෞඛ්‍ය අමාත්‍යවරයාට විවෘත ලිපියක්

ආටෝප උත්සව මගින් මහ ජනතාව ගොනාට ඇන්දවීමට ඉඩ නොහැර, සැබෑ ලෙසම දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදන දිරි ගැන්වීම සදහා ඖෂධ නිෂ්පාදන නිතීගත සංස්ථාව නගා සිටුවන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති, රවී කුමුදේශ් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත විවෘත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහනව ඇත්තේ, රටේ ඖෂධ ගැටලුව විසදීම සදහා ඖෂධ නිෂ්පාදනයේ වැදගත්කම හොදින්ම දන්නා ඖෂධ නිශ්පාදන සංස්ථාව එම කාර්‍ය සිදු කිරීම වෙනුවට ජනතාව රැවටීමට ලක් කිරීමට කටයුතු කිරීම පිළිබදව අප කණගාටු වෙමු.

2022. 08. 15 දින ඔබ, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස නව ඖෂධ තුනක් ඖෂධ නිශ්පාදන නීතිගත සංස්ථාව විසින් නිශ්පාදනයකර වෙලද පලට හදුන්වා දුන් බව, ඒ සදහාම  සංවිධානයක කර තිබූ උත්සවයක්දී ප්‍රකාශ කලේය. 

ඖෂධ නිශ්පාදනය මේ මොහොතේ වඩ වඩාත් වේගයෙන් සිදුකල යුතු කාර්යක් වන නමුත්, ඔබ විසින් එලෙස ප්‍රකාශයට පත් කල ඖෂධ මීට බොහෝ කාලයකට පෙර එම සංස්ථාව විසින්ම නිශ්පාදනය කරන ලද හා  දැනට වෛද්‍ය සැපයීම් අංශය විසින් රෝහල් වෙත බෙදාහරින ඖෂධ බව ඔබගේ අවධානයට ලක් කරමු. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඔබ  දැනුවත්ව හෝ නොදැනුවත්ව රට රවටා ඇති අතර, ඖෂධ නිශ්පාදන සංස්ථාවේ සභාපතිවරයා දැන දැනම මෙම කටයුත්ත සංවිධානය කර ඇත්තේ, ඔහුගේ නිල කාලය තුල ඖෂධ නිෂ්පාදනය දිරි ගැන්වීම සදහා කිසිදු සාධනීය මැදිහත්වීමක් සිදු නොකල තත්වයක් යටතේ බවද පෙන්වා දෙමු.

එසේම  කල යුතුත්ත, හොදින්ම අවබෝධ කර ගනිමින්, ඒ සදහා වගවීම වෙණුවට, රැවටිලි සහගත උත්සව පැවැත්වීම  හරහා දියත් කරනු ලබන උප්පරවැට්ටි මගින් සෞඛ්‍ය අර්බුධය තව තවත් භයානක අඩියකට පරිවර්ථනය වන බව අප අවධාරණය කරමු.

ඒ අනූව ඔබ විසින් නැවත් වෙළදපලට හදුන්වාදුන්, ගැස්ට්‍රික් ආම්ලිකතාවය සඳහා භාවිතා කෙරෙන ඔමෙප්‍රසෝල් (omperozole 20mg) ඖෂධය, රාජ්‍ය ඖෂධය නිෂ්පදන නීතිගත සංස්ථාව නිපදවමින් සිටින්නේ 2020 වර්ෂයේ පෙබරවාරි මාසයේ සිටය. එම ඖෂධය පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමතිවරිය විසින්ද හදුන්වාදීමට කටයුතු කලේය.

එසේම එම උත්සවයේදීම නැවත හදුන්වා දුන්, තයිරොක්සින් ඌණතාවය සඳහා ලබාදෙන  levothyroxine 50mg ඖෂධය, ඖෂධ නිෂ්පාදන සංස්ථාව 2022. අප්‍රේල් මාසයේදීද හදුන්වාදෙනු ලැබුවේය. ඒ ඇත්තේ රාජ්‍ය ඇමති චන්න ජයසුමනගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීය.

දැනට මෙම ඖෂධ දිවයින පුරා රොහල්වල භාවිතකරමින් තිබියදී,  සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තවත් උත්සවයක් පැවත්වා එම ඖෂධම හදුන්වා දීම මගින් ඖෂධ නිශ්පාදන නීතිගත සංස්ථාව, සිය බාවය වසා ගැනීමට ඔබගේ නිල තත්ත්වය භාවිතා කොට ඇත. 

රට තුල පවතින ආර්තික අර්බුදය ජය ගැනීම සදහා දීර්ගකාලීන වැඩපිළිවෙලක් යටතේ කටයුතු කිරීම, සෞඛ්‍ය බලධාරීන්ගේ සහ රජයේ වගකීමකි. ඒ සදහා, ඖෂධ නිෂ්පාදනය දේශීය වශයෙන් සිදු කිරීම ප්‍රධාන විකල්පයකි එම  වගකීම සම්පූර්ණයෙන්ම දැරියයුතු වන්නේ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසිනි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ රට තුල ඖෂධ නිෂ්පාදනය හිතාමතාම අධෛර්‍යට පත් කල අතර, එම කාල පරිච්චේදය තුල කිසිදු සමාගමකට ඖෂධ නිෂ්පාදනය සදහා ඉඩ ලබා දී නැත. සෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාවය අනූව නිළධාරීන් පත් නොකිරීම ඊට හේතුව බව අප කලක සිට සිදුකරන විවේචනයක් බවද මෙහිලා සිහිපත් කරමු.   

ඖෂධ ගෙන්වීමේදී ලැබෙන කොමිස් වාසිය හා කළමනාකරණ දුර්වලතාවය හේතුවෙන්, ඖෂධ නිශ්පාදනයට එකගව සිටි සමාගම 30කට වැඩි ප්‍රමාණයක් එම කාලය තුල එම කාර්‍ය අතහැර දමා ඇති අතර, එකම සමාගමක් හෝ එම කාලය ඖෂධ නිශ්පාදනයට එකතු කර ගැනීමට සංස්ථාව අපොහොසත් වී ඇති බැවින්, මෙය ආටෝපකාරී ක්‍රියාවලිය පිළිබදව විධිමත් විමර්ෂණයක් සිදු කර, රටේ ඖෂධ නිශ්පාදන ක්‍රියාවලිය මීට වඩා ශක්තිමත් කිරීම සදහා අදාල ආයතන නගා සිටුවීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.