'වෘත්තිය සමිතිවලට වඩා මට ජනතාව වැදගත්' -ජනපති රනිල් (VIDEO)

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයේදී තමන් වෘත්තිය සමිති ගැන තැකීමක් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

බ්‍රිතාන්‍යයේ ''ද ඉකොනොමිස්ට්'' පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙරට ආර්ථිකය යළි පනගැන්වීමේ සැලසුම් පිළිබඳව ද එහිදී ජනාධිපතිවරයා අදහස් ප්‍රකාශ කර ඇත.

THE ECONOMIST :  ශ්‍රී ලන්කන් ගුවන්සේවය හැරුණුවිට පෞද්ගලීකරණය කළයුතු අනෙකුත් ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය මොනවාද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ : ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කළ හැකියි. ටෙලිකොම් වගේම ඛනිජ තෙල් සංස්ථාව සම්බන්ධයෙන් අපට කළ හැක්කේ කුමක්ද කියන එකත් ප්‍රශ්නයක්.

THE ECONOMIST : මෙරට ඉන්ධන වෙළෙඳාම අනෙකුත් තරගකරුවන්ටත් විවෘත කිරීම ගැන මොකක්ද ඔබේ අදහස?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ: ඔව්, අප ආයෝජන සඳහා ක්ෂේත්‍රය විවෘත කර තිබෙනවා. එහෙත් අපට සහනාධාරලාභීන් සමග සාකච්ඡා කිරීමත් අවශ්‍යයි. මොකද ඇතැම් ව්‍යාපාර වසර 40කට වැඩි කාලයක් ක්‍රියාත්මක වන නිසා. බාහිර ආර්ථික ක්‍රියාකාරකම් පාලනය කරන නීතීත් වෙනස් වෙන්න ඕන. ඒ සඳහා අයර්ලන්ත ආකෘතිය යොදාගත හැකිදැයි හොයලා බලනවා.

THE ECONOMIST :  රජය සතු ව්‍යවසාය ප්‍රතිසංවිධාන කිරීමේදී විශේෂයෙන් වෘත්තිය සමිතිවලින් ඊට දැඩි විරෝධයක් පළවනවා නේද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ:  මම වෘත්තිය සමිති ගැන වදවෙන්නේ නෑ. වඩා වැදගත් ජනතාවයි. තත්ත්වය වැඩි දියුණු කළහැකි යැයි හිතුණොත් ජනතාව ඒ වෙනුවෙන් පෙනී සිටියි.

THE ECONOMIST :  ඔබට අනාවැකියක් පවසන්න තියෙනවද ? ශ්‍රී ලංකාව අවම වශයෙන් 2018 වසරේ පැවැති සශ්‍රීකත්ව මට්ටමට ඒමට කොපමණ කලක් ගතවේවිද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ: ඇතැම් විට 2024 හෝ 2025. පළමුව අපි සිතුවේ 2024 දී එය සිදුකළ හැකි වෙයි කියලා. එහෙත් 2023 දී ගෝලීය වශයෙන් අයහපත් වසරක් බවට පත්වීමේ ලකුණු පවතිනවා. ඒ නිසා 2024 හෝ 2025 විය හැකියි.

THE ECONOMIST :  ඔබ හිතනවද 2020 දී හෝ සමහර විට 2030 දී අනාගත ජනාධිපතිවරයා බවට රාජපක්ෂවරයෙක් පත්වේවි කියා?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ : මට අනාගතය ගැන කතා කරන්න බෑ.

THE ECONOMIST :  ඔබ හිතුවද ඔබ ජනාධිපතිවරයා බවට පත්වේවි කියලා ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ : මම හිතුවේ නැහැනේ මගේ නිවස ගිනිතබයි කියලා. ඉතිං ඔබට වැටහෙනවා නේ මා කියන දේ ?

(උපුටා ගැනීම - අද දෙරණ)