රුපියල් බිලියන පහක් අපහරණය කළ සෞඛ්‍ය ලොක්කෝ ගැන හොයන ලෙස ඉල්ලීමක්

රුපියල් බිලියන පහක් අපහරණය කළ සෞඛ්‍ය ලොක්කෝ ගැන හොයන ලෙස ඉල්ලීමක්

ඖෂධ නියාමන අධිකාරිය(NMRA) රාජ්‍ය ඖෂධ සංස්ථාව (SPC)සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPMC)මගින් පසුගිය වසර දෙකක කාල සීමාව තුළදී සිදු කරනු ලැබූ ක්‍රියාවන් සම්බන්ධව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කරන ලෙස සහ පසුගිය කාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් 15 දෙනකු විසින් සිදුකරන ලද රුපියල් බිලියන 5 ඉක්මවන ලද මුදල් අපහරණ  ක්‍රියාවන් සම්බන්ධව  ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සහ නිර්දේශ මත කටයුතු කිරීම කෙරෙහිද ඔබතුමාගේ සෘජු අවධානය යොමු කරන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය පවත්වාගෙන යාමේදී ඉතා වැදගත් වන  අමාත්‍යාංශයට සෘජුව සම්බන්ධ නොවන එහෙත් සෞඛ්‍ය පද්ධතියේ ක්‍රියාකාරීත්වය සඳහා ඉතා වැදගත් වන ආයතන තුනක් ලෙස ඖෂධ නියාමන අධිකාරිය රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හඳුන්වා දිය හැක. නමුත් පසුගිය කාල සීමාවේදී මෙම ආයතන තුනේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දිගින් දිගටම ආන්දෝලනාත්මක සිදුවීම් වාර්තා වූ අතර විශේෂයෙන්ම දූෂණ වංචා අක්‍රමිකතා සම්බන්ධයෙන් ඍජු චෝදනා එල්ල විය.

ඖෂධ නියාමන අධිකාරිය මගින් තත්වයෙන් බාල ඖෂධ හා ශල්‍ය උපකරණ ගෙන්වීමත්, අසාදු ලේඛන ගත කරන ලද සමාගම් සඳහා වක්‍රාකාරයෙන් තාවකාලිකව බලපත්‍ර ලබා දීමත්, රට තුළ පවතින ඖෂධ හිඟය දඩමීමා කොට හදිසි ඖෂධ මිලදී ගැනීම් සඳහා තාවකාලික බලපත්‍ර නිකුත් කිරීමත් ඖෂධ නියාමන අධිකාරිය දත්ත පද්ධතිය හදිසියේ අක්‍රීය වීමත් වැනි සිදුවීම් ගණනාවක් සම්බන්ධයෙන් පසුගිය කාලසීමාවේදී දිගින් දිගටම ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තුව ඔස්සේ කරුණු අනාවරණය වූ අතර මේ අනුව මෙරට මහජනතාව ඖෂධ නියාමන අධිකාරිය කෙරෙහි තබා ඇති විශ්වාසය සම්පූර්ණයෙන්ම වාගේ පළුදු වී ඇත. මේ තත්ත්වය දිගින් දිගටම ක්‍රියාත්මක වීම ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරීත්වයහි පාරදෘශ්‍යභාවය ප්‍රශ්න කරනු ලබයි.

දැනට සෞඛ්‍ය අමාත්‍යංශයට ඖෂධ සැපයීම වැඩි වශයෙන් සිදු කරනු ලබන්නේ රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් වන අතර පසුගිය කොවිඩ් පාලන සමයේ දී මෙරටට කොවිඩ් එන්නත ගෙන්වීම ඇතුළු ඹෘෂධ රැසක් ගෙන්වීම සම්බන්ධයෙන් එහිදී සිදු වූ ටෙන්ඩර් හා මිලදී ගැනීම් සම්බන්ධව රාජ්‍ය ඖෂධ සංස්ථාව ට චෝදනා එල්ල වූ අතර දැනට රට තුල උග්‍ර ඩොලර් හිගයක් පවතින අවස්ථාවකදී සෞඛ්‍ය අමාත්‍යාංශය සෘජුව ගැනුම්කරුවන්ගෙන් ඖෂධ මිලදී ගැනීම වෙනුවට රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා ඖෂධ මිලදී ගැනීම නිසා ඉතා විශාල අතරමැදි කොමිස් මුදල් ගෙවීමට සිදු වීම කැපී පෙනෙන තත්ත්වයකි.

රට තුළ දේශීය ඖෂධ නිෂ්පාදනය ප්‍රවර්ධනය අනිවාර්යෙන්ම සිදුවිය යුතු වන නමුත් දේශීය ඖෂධ ප්‍රවර්ධනය නාමයෙන් විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා සිදු කරමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ක්‍රියා කරන බවට පසුගිය කාල සීමාවේ දී දිගින් දිගටම චෝදනා එල්ල වූ අතර පසුගියදා කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට මීට පෙර තුන් වතාවක් පමණ දොරට වඩන ලද ඖෂධ තොග යළිත් බව උත්සවාකාරයෙන් පිළිගැන්වීම මෙහි තවත් කූටාප්‍රාත්ති අවස්ථාවකි.

පසුගිය කාලසීමාවේදී ඉහත සඳහන් අර්ධ රාජ්‍ය ආයතන තුන සම්බන්ධයෙන් විශාල වශයෙන් ගැටලු සහ දූෂණ චෝදනා එල්ල වූ බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙසත් එහිදී අප වෘත්තීය සමිති ව්‍යාපාරය සතු තොරතුරු ලබා දීමට සූදානම් බවත් මෙයින් දන්වා සිටිමු.

තවද පසුගිය යහපාලන වගේ සමයේදී රාජ්‍ය ආයතනවල දූෂණ වංචා අක්‍රමිකතා සොයා බැලීම සම්බන්ධයෙන් පත්කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් 15 දෙනකු විසින් සිදුකරන ලද රුපියල් බිලියන 5 ඉක්මවන ලද මුදල් අපහරණ  ක්‍රියාවන් සම්බන්ධව තොරතුරු සොයා ගත් බව එවකට ජනමාධ්‍ය ඔස්සේ පළ වූ අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියට කිසිදු පියවරක් ගත් බවක් වාර්තා නොවීය. එහි නම් සඳහන් නිලධාරීන් විශාල ප්‍රමාණයක් දැනටමත් රාජ්‍ය ආයතන වල ඉහල පුටු හොබවමින් කටයුතු කිරීම ඔබතුමාගේ දූෂණ වංචා අක්‍රමිකතා වලින් තොර රාජ්‍ය පරිපාලන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට ප්‍රබල බාධාවක් වන බැවින් අදාල ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සහ නිර්දේශ මත කටයුතු කිරීම කෙරෙහිද ඔබතුමාගේ සෘජු අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට සෘජුව දායක වන හා අවශ්‍ය කරන ප්‍රායෝගික විසඳුම් ලබාදෙන වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙසය ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

මෙම ලිපිය කෙරෙහි ඔබතුමා සිතා ධනාත්මක ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි වැදගත් බලාපොරොත්තු වන අතර මෙම කරුණු සම්බන්ධයෙන් ඔබතුමා දැනුවත් කිරීම සඳහා වෘත්තීය  කටයුතු සම්බන්ධ ඔබතුමාගේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා හරහා සම්බන්ධ වීමට ගත් උත්සාහයන් අසාර්ථක වීම සම්බන්ධයෙන් අපගේ කණගාටුව ද පළ කරමු.