ඖෂධ සංස්ථාව එක බොරුවක් වසා ගැනීමට බොරු දහසක් කියන ප්‍රතිපත්තියකට ගිහින්

ඖෂධ සංස්ථාව එක බොරුවක් වසා ගැනීමට බොරු දහසක් කියන ප්‍රතිපත්තියකට ගිහින්

“ඖෂධ මාෆියාව කලබල වන්නේ දේශීය ඖෂධ නිශ්පාදනය දිරි ගැන්වීමේදී මිස, එකම ඖෂධය යලි යලිත් හදුන්වාදීමේ බොරුවට නොවේ“

ඔමෙප්‍රසෝල් (20mg) සහ ලවොතයිලොක්සීන් (50mg) ඖෂධ අලුතින් හදුන්වා දුන් බව උත්සවයක් පවත්වා සිදු කල බොරුව වසා ගැනීම සදහා තවත් බොරු රැසක් සමග ඖෂධ මාෆියාව පටලවා ගැනීමට, ඖෂධ නිෂ්පාදන නිතිගත සංස්ථාව දරන උත්සාහය අප ප්‍රතික්ෂේප කරමු.

“උක්‍ත ඖෂධ නව ඖෂධ ලෙස හදුන්වාදුන් බව ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ මාධ්‍ය ප්‍රකාශය තුල පැහැදිළිව සදහන්ව තිබියදී, එක බොරුවක් වසා ගැනීම සදහා තව බොරු දහසක් කියන ප්‍රතිපත්තියට යෑම, රජයේ වගකිවයුතු සංස්ථාවක හැසිරීම නොවිය යුතුය.“

සාමාන්‍යයෙන් ඖෂධයක් හදුන්වාදීම ලෙස සැලකෙන්නේ ඖෂධයට අදාල අනුක තත්ත්වය (MOLECULE) හදුන්වා දීම මිස එහි විවිධ ඇසුරුම් හෝ එය විකුණනු ලබන ආයතන වලට අදාලව සිදු කරණු ලබන්නක් නොවේ. ඒසේ සිදු කරනු ලැබුවහොත්, ඖෂධයේ විවිධ පැකට්ටු සාදහා උත්සව විශාල ප්‍රමාණයක් සහ ඖෂධය අළුතින්ම විකුණන්නට පටන් ගන්නා විවිධ ආයතන වලට අනූව තවත් උත්සව විශාල සංඛ්‍යාවක්ද පවත්වන්නට සිදු වේ.

කෙසේ නමුත්, සැබෑ ලෙසම ඖෂධ මාෆියාවට වැට බැදීමට, ඖෂධ නිෂ්පාදන නීතීගත සංස්ථාවට අවශ්‍ය වන්නේනම්, ඒ සදහා කල යුත්තේ බොරු උත්සව පැවැත්වීම වෙනුවට, සත්‍ය වශයෙන්ම දේශීය ඖෂධ නිශ්පාදනය දිරි ගැන්වීම සහ පහසුකම් සැලසීමය. පසුගිය වසර කිහිපය තුල එවන් කාර්යක්ෂමතාවයක් අප එම සංස්ථාවව තුලින් නිරීක්ෂණය නොකල බවද මෙහිලා සදහන් කල යුතුමය.

රවී කුමුදේශ්

සභාපති

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය