කාන්තාවන් රාත්‍රී සේවයට කැඳවීම හා පාසල් සිසුන් වැඩබිමට කැඳවීම හෙට දැවැන්ත විරෝධයක්!

කාන්තාවන් රාත්‍රී සේවයට කැඳවීම හා පාසල් සිසුන් වැඩබිමට කැඳවීම හෙට දැවැන්ත විරෝධයක්!
ආයතන තුළ රැකවරණ හා ප්‍රවාහන ගැටළු හා සමාජීය ගැටළු නොවිසඳා කාන්තාවන් රාත්‍රී සේවයට කැඳවීම අයිතියක වේෂයෙන් පැමිණෙන අපරාධයක් බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය, පෞද්ගලික සේවක මධ්‍යස්ථානය හා  කම්කරු අරගල මධ්‍යස්ථානය පවසයි.
 
මෙම සංවිධාන ත්‍රිත්වය විසින් මේවන විට ඒ්කාබද්ධ විරෝධතා ව්‍යාපාරයක් කැඳවා ඇති අතර හෙට (19) දහවල් 12ට කම්කරු මධ්‍යස්ථානය ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.
 
මේ පිළිබඳ උපුටා දක්වමින් මෙම සංවිධාන විසින් නිකුත් කළ ඒ්කාබද්ධ නිවේදනයේ මෙසේද දැක්වෙයි.
 
 
ළමා ශ්‍රමය හදිසියේම ශ්‍රම වෙළඳපළට කැඳවීම පිළිබඳ අපගේ විවේචනය කුමක්ද?
 
1. පසුගියදා කම්කරු අමාත්‍යවරයා අවුරුදු 16 ට වැඩි පාසල් යන දරුවන්ට පෞද්ගලික අංශයේ දිනකට පැය හතර බැගින් පුහුණුවක් සහිත වැඩ සතියකට සහභාගී කිරීමට නීති වෙනස් කරන බව පැවසූවා.
 
2. අපි පළමුවෙන්ම අවධානය යොමු කළ යුත්තේ මෙය සිදු කරන්නේ කුමන පසුබිමක් යටතේද යන්නටයි. දැනටමත් පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය, තෙල් අර්බුදය හා ආර්ථික අගහිඟකම් නිසා දරුවන් පාසැල්  හැරෙමින් පවතී. පාසල් පවත්වන කාලය දිගින් දිගටම සීමා කෙරුණු බව හා අත් හැරුණු බව අපි කවුරුත් දනිමු. සමහර දරුවන් පාසල් ගියත් අධ්‍යාපනය ගැන උනන්දුව අත්හැරී ඇත. එවැනි පසුබිමක මෙම යෝජනාව හුදෙක් දරුවන් ශ්‍රම ලෝකයට පුරුදු කිරීමේ උවමනාවෙන් එන එකක් නොවන බව ඉතාම පැහැදිලිය. මේ සිදුකරන්නේ අර්බුදයම පාර්සල් කිරීමකි. හරියට තෙල් අර්බුදයට QR code හඳුන්වාදීම වැනිය. තුවාලයම විකුණං කෑමකි.
 
3 දැනටමත් පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් වැඩිහිටියන්ට රැකියා අහිමි වී ඇත. අහිමි වීමේ අවදානම ඉහළ යමින් ඇත. (උදාහරණයක් ලෙස ඉදිකිරීම් ක්ෂේත්‍රය) එවැනි පසුබිමක පාසල් දරුවන්ගේ ශ්‍රමය, ශ්‍රම වෙළඳපලට කැඳවිම විසින් සිදුවන්නේ තවදුරටත් රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රම අතිරික්තයක් නිර්මාණය වීමයි. එය ශ්‍රමයේ මිල පහළ වැටීමට බලපානු ඇත. එමෙන්ම දැනටමත් රැකියා කරන අයට රැකියා අහිමි වීමට බලපානු ඇත.
 
4. අනෙක් කරුණ වන්නේ ශ්‍රම  වෙළඳපොල තුළ පවතින සුරක්ෂිතාව පිළිබඳ ගැටලුවයි. අප සියලු දෙනා දන්නා පරිදි විවිධ අවස්ථා වල කර්මාන්තශාලාවල මිනිසුන් මියගිය වාර්තා ඇති තරම් අසා ඇත. උදාහරණයකට හොරණ කර්මාන්තශාලාවක රාසයනික කෝවකට වැටී  තරුණයින් පස් දෙනෙකු පිළිවෙලින් එකිනෙකා මියගිය ආකාරය මතක් කළ හැකිය. වාර්තා නොවන සිදුවීම් අති විශාල සංඛ්‍යාවක් පවතින බවත් පෞද්ගලික අංශයේ වෘත්තී සමිති සදහා මැදිහත් වන අප වගකීමෙන් කියමු. එවැනි පසුබිමක හදිසි තීරණයක් ලෙස දරුවන් මෙලෙස ශ්‍රම ලෝකයට මුදාහැරීම තමන්ගේ දරුවන් එවැනි දේකට නොයවා සමාජ මාධ්‍ය වල අදහස් පළ කරන්නන්ට අදාළ නොවුණාට සමාජ මාධ්‍ය තබා තමන්ට සිදුවන අසාධාරණයක් පොලිස් පැමිණිල්ලක් ලෙසවත් ඉදිරිපත් කළ නොහැකි සමාජ තීරුවට බරපතළ අසාධාරණයකට මුහුණ දෙන්නට සිදුවන බව අප පැහැදිලිව කිව යුතුය. (අමතර කරුණක් ලෙස ඉහත හොරණ පස් දෙනෙකු මිය ගිය සිදුවීමේ අධිකරණයට වාර්තා වී ඇත්තේ එක් පුද්ගලයෙක් මියගිය සිද්ධියක් ලෙස බව සටහන් කරමි)
 
5. දරුවන් ශ්‍රම ලෝකයට හුරු කිරීමට අප විරුද්ධ ද? පැහැදිලිවම නැත. දරුවන් ශ්‍රමය කටයුතු වලට විවෘත කිරීම කුඩා වයසේ සිටම පවත්වා ගත යුතු දෙයකි. නමුත් ඉහත අදහස් දක්වා ඇති බොහෝ අය තමන්ගේ නිවසේ සරල කටයුතුවලට වත් දරුවන් හුරු කරනවාද යන ගැටලුව ඔවුන්ගේ හෘද සාක්ෂියෙන් විමසා ගන්නා ලෙස මා ඉල්ලා සිටිමි. සාමාන්‍යයෙන් ආර්ථික වශයෙන් දුෂ්කර පවුල්වල නම් දරුවන් මවගේ හෝ පියාගේ විවිධ ආර්ථික කටයුතු වලට දායක කර ගැනීමේ සම්ප්‍රදායක් ඇත. මෙය සමහර අවස්ථාවල එම දරුවන් ගේ  විධිමත් පාසල් අධ්‍යාපනයට බාධාවක් වුවද, ශ්‍රම ලෝකයට හුරුවීම පැත්තෙන් කරුණු විමසූ විට යහපත්ය. නමුත් පහල මැද පාන්තිකයන් බෝහෝවිට දරුවන්ව පතපොතට පමණක් සීමාකොට හදන අයුරු අප දැක ඇත.මෙහිදී  අප පැහැදිලිව දරන ස්ථාවරය වන්නේ වැඩිහිටි දරුවන්ව ආරක්ෂාව සහිතව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ යම් තොරාගත් වෘත්තීන්වල පුහුණු කාල පරිච්ඡේදවලට යොමු කළ යුතු බවයි. නමුත් මේ සිදුවන්නේ එය නොවන බව දැකීමට තරම් ඔබගේ මනස විවෘත කරගන්න. 
 
 
අනෙක් අතට අපේ රටෙි අධ්‍යාපන ක්‍රමය තුළ උසස්පෙළ දරුවෙකුට සාමාන්‍ය පෙළ දරුවෙකුට තමන්ගේ විභාගය හරිහැටි කරනවා නම් අමතර පන්ති හා රාත්‍රී  දහය දොළහ වන තුරු වෙහෙසකර අධ්‍යාපන ජීවිතයක් ගත කිරීමට සිදුවන බව අමතක නොකරන්න. ඇති හැකි අයගේ දරුවන් එම රටාව තුළ තබාගෙන කිසිවක් කර කියගත නොහැකි දෙමාපියන්ගේ දරුවන් ගැන ගනු ලබන මෙවැනි සාපරාධී තීරණයක් සාධාරණී කරණය කිරීම කෙතරම් සදාචාරාත්මකද යන්න ඔබම තීරණය කරන්න.
 

6. බටහිර රටවල්වල මෙවැනි ශ්‍රම කැඳවීම් ඇති බවත්, ඒවා යම් කොන්දේසි තුළ ක්‍රියාත්මක වන බවත්, එහිදී යම් හෝ රැකවරණයක් ඇති බවත්  අප ඔබට කිව යුතුය. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ විශාල වත්කම වන්නේ ශිෂ්‍ය ණය බවත්, එක්සත් ජනපදයේ විශාලම ආර්ථික ගැටළුවක් ලෙස එය පවතින බවත් එවැනි ශිෂ්‍ය ණය ක්‍රම වලම ඉතිරි අර්ධය ලෙස මෙවැනි මුදල් ඉපයීමේ ක්‍රම හඳුන්වා දී ඇති බවත් කරුණු අඩ වශයෙන් දකින අඩ වශයෙන් වාර්තා කරන අයගේ දැනගැනීම සඳහා පළකරමු.