රට තුල තවදුරටත් රැදි සිටින බහුතරයක් වූ වෛද්‍ය ප්‍රජාව වෙත රට තුල තවදුරටත් රැදි සිටීම ධෛර්යමත් කරන දිරිගැන්විමේ යාන්ත්‍රණයක්ද වහාම ප්‍රකාශයට පත්කළ යුතු බවත්, පහත දැක්වෙන ත්‍රිත්ව අභියෝග ජය ගැනීම සඳහා තිරසාර විසඳුම් ඔස්සේ නිසි මඟ හෙලි පෙහෙලි කර ගැනීමකින් තොරව සෞඛ්‍ය පද්ධතියේ ඉදිරි තීරණාත්මක බිඳ වැටීමක් වළක්වා ගත නොහැකි බව යලි යලිත් පෙන්වා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර අවධාරණය කර සිටියි.
එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා සිටින්නේ,
සෞඛ්‍ය පද්ධතිය තුල වර්තමානය වන විට මතුව ඇති ඉහත ත්‍රිත්ව අභියෝගයන් පිළිබඳ අපි පසුගිය කාලය තුල දිගින් දිගටම අනතුරු ඇඟවුයෙමු. එමෙන්ම එම අභියෝග ජය ගැනීම සඳහා වූ අපගේ යෝජනාද බලධාරීන් වෙත ඉදිරිපත් කලෙමු.
I. ඖෂධ අර්බුදය
අකාර්යක්ෂමතාවයත්, දුෂණ හා අක්‍රමිකතාවයන් සඳහා ඇති අසාමාන්‍ය ඉඩකඩත් ඔස්සේ නිර්මාණය වු වත්මන් ඖෂධ අර්බුදය මේ මොහොතේ හෝ කලමණාකරණය කිරීම බලධාරීන් සතු අත්හල නොහැකි වගකීමකි.
ඒ සඳහා වන දස වැදෑරුම් යෝජනා මාලාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස මේ වන විටත් ඉදිරිපත් කර හමාරය. (ඇමුණුම I)
තවදුරටත් ගැටලුව සඟවා තබා ගත නොහැකි මට්ටමකට අර්බුදය ඔඩු දුවා ඇති පසුබිමක මේ සඳහා වන තාක්ෂණික මැදිහත්වීම් හරහා වහා ක්‍රියාත්මක වන ලෙස අප බලධාරින්ට අවධාරණය කරමු.
II. පෝෂණ ගැටලුව
වර්තමානයේ මතුව ඇති සමාජ ආර්ථික අර්බුදය හමුවේ සමස්ථයක් ලෙස තිව්‍ර වී ඇති පෝෂණ ගැටලුව පිළිබඳ බලධාරීන්ගේ අවධානය අප විසින් යොමු කරන ලද්දේ මීට මාස කිහිපයක සිටය.
විශේෂයෙන්ම ළදරු ළමා කාණ්ඩ වලට හා ගර්භනි මව්වරුන් ඇතුලු හඳුනාගත් අවදානම් කණ්ඩායම් වලට ඉලක්කගත හා ඵලදායි මැදිහත්වීම් සිදුකරන ලෙස අවධාරණය කරන ලදී.
මේ පිළිබඳ අප සංගමයේ යෝජනා මේ වන විටත් සමාජගත කර හමාරය. (ඇමුණුම II)
අප විසින් ඉදිරිපත් කළ ප්‍රධාන යෝජනාවක් වනුයේ අන්තර් පාර්ශවීය සහයෝගිතාව සහතික කරන ජනාධිපති කාර්ය සාධක බලකායක් වැනි යාන්ත්‍රණයක් වහාම ස්ථාපිත කිරීමයි.
ඒ අනුව ඊයේ දිනය තුල අතිගරු ජනාධිපතුමා විසින් අපගේ යෝජනා වලට සමාන යාන්ත්‍රණයක් පෝෂණ හා ආහාර ගැටලුව විසඳීම අරමුණු කරගනිමින් ස්ථාපිත කිරීමට ගෙන ඇති පියවර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස බෙහෙවින් අගය කරමු.
ඒ සඳහා අපගේ කොන්දෙසි විරහිත සහයෝගය නැවත සපථ කරමු.
III. වෛද්‍යවරුන් රට හැර යාම
විදේශ විනිමය අර්බුදයක සිටින මොහොතක වෛද්‍යවරුන් විදේශ රැකියා වලට යොමු කිරීම මේ මොහොතේ ඉතා වැදගත් සාධකයක් බව බැහැර කළ නොහැක.
කෙසේ නමුත් මෙය සිදුවිය යුත්තේ පාලිත තත්ත්වයන් යටතේය. ඒ සඳහා මේ වන විට නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ චක්‍රලේඛයට අනුකූලව අභ්‍යන්තර යාන්ත්‍රණයක් සෞඛ්‍ය අමාත්‍යංශය පාර්ශවයෙන් සකස් විය යුතුය.
එය චක්‍රලේඛයක් ලෙස නිකුත් වීම ප්‍රමාද වීම හරහා සෞඛ්‍ය පද්ධතියට වන ඍණාත්මක බලපෑම බැහැර කළ නොහැක. නිශ්චිත ක්‍රමවේදයක් සහ නියාමනයක් නොමැති තත්ත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයේ පාලනයකින් තොරව වෛද්‍යවරුන් රට හැර යාම දිනපතා සිදුවෙමින් පවති.
අප විසින් සිදුකළ සමීක්ෂණයට අනුව මේ වසරේ ගෙවි ගිය මාස 8 තුල පමණක් විදේශගත වු වෛද්‍යවරුන් ගණන 500 කට ආසන්නය. මින් සැලකිය යුතු පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශයේ පාලනයකින් තොරව විදෙස් ගත වී තිබිම සෞඛ්‍ය පද්ධතියේ ඉදිරි කඩා වැටීමක් පිළිබඳ අනතුරු අගවයි.
ඒ අනුව මේ සඳහා වන විධිමත් ක්‍රමවේදයක් වහාම ප්‍රකාශයට පත් කරන අතරතුර රට තුල තවදුරටත් රැදි සිටින මානසිකත්වයෙන් කටයුතු කරන බහුතරයක් වූ වෛද්‍ය ප්‍රජාව වෙත රට තුල තවදුරටත් රැදි සිටීම ධෛර්යමත් කරන දිරිගැන්විමේ යාන්ත්‍රණයක්ද වහාම ප්‍රකාශයට පත්කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අවධාරණය කරමු.
ඒ අනුව මේ මොහොතේ අප විසින් පෙන්වා දී ඇති ඉහත දැක්වු ත්‍රිත්ව අභියෝග ජය ගැනීම සඳහා තිරසාර විසඳුම් ඔස්සේ නිසි මඟ හෙලි පෙහෙලි කර ගැනීමකින් තොරව සෞඛ්‍ය පද්ධතියේ ඉදිරි තීරණාත්මක බිඳ වැටීමක් වළක්වා ගත නොහැකි බව යලි යලිත් පෙන්වා දෙමු.
රටේ පවතින වත්මන් ඖෂධ අර්බුදය පිළිබද අධ්‍යයනය කර වාර්තා කිරීම සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පත්කළ තාක්ෂණික කමිටුව විසින් ඉදිරිපත් කළ දස වැදෑරුම් විසදුම් යෝජනා.
ඒ අනුව පවතින තත්ත්වය නිවැරදි කිරීම සදහා ක්‍රියාත්මක කළ යුතු කෙටි කාලීන හා මධ්‍ය කාලීන යෝජනා 10 ක් තාක්ෂණික කමිටුව විසින් ඉදිරිපත් කර ඇත.
පවතින ආර්ථික අර්බුදය හමුවේ වඩාත් තිව්‍ර වෙමින් ඇති ළමා මන්දපෝෂණය හරහා අනාගතයට සිදුවන දරුණු හා අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සය වැදෑරුම් යෝජනා මාලාවක්.
