ගැසට් රිවස් ජනාධිපතිවරයෙකු නොවී සිටීමට වර්ථමාණ ජනාධිපතිවරයා විසින් තරයේ වගබලාගත යුතුය

ගැසට් රිවස් ජනාධිපතිවරයෙකු නොවී සිටීමට වර්ථමාණ ජනාධිපතිවරයා විසින් තරයේ වගබලාගත යුතුය
වසර 58න් විශ්‍රාම ගැනිවීමේ ප්‍රතිපත්තිය සමග සෞඛ්‍ය ඇමතිවරු විහිළු කිරීම හේතුවෙන් හැට පැන්න නිළධාරීන් විශාල පිරිසක් ගොඩ ගැසී පවතින බැවින් නිවැරදි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ඕනෑම අවස්ථාවක සාමාන්‍යට වඩා වැඩි පිරිසක් විශ්‍රාම යෑම සාමාන්‍ය තත්වයක් වුවද, එය සෞඛ්‍ය සේවාව සදහා අත්‍යවශ්‍ය බව අප අවධාරණය කරමු. 
 
හිටපු සෞඛ්‍ය ඇමතිවරයට  හිතෛෂී වෛද්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුගේ වුවමණාවට මෙම විකෘත්තිය සෞඛ්‍ය සේවාව තුල ඇති වූ අතර, ඉන් ඇතිවන ආදිනව ගැන නොසලකමින් විපක්ෂ නායකවරයා ඒ වෙනුවෙන් පෙනී සිටීම අප තරයේ ප්‍රතික්ෂේප කරමු. තම තමන්ගේ හිතෛෂීවන්ත බව රැක ගැනීම සදහා හෝ තමන්ට ප්‍රතිකාරකරන වෛද්‍යවරයා සැනසවීම සදහා දේශපාළකයින් විසින් අවිචාරවත් ලෙස රටේ ප්‍රතිපත්ති වෙනස් කිරීම රට මෙවැනි අරබුධයකට ඇද වැටීමට ප්‍රධාන හේතුවක් වී ඇත. ඊට අමතරව ඒ හරහා විවිධ සේවාවන්ට විවිධ ආකාරයෙන් සැලකෙන අසාධාරන හා අසමබර ක්‍රමයක් නිර්මාණය වීම හරහා ඇතිවන සේවා අතෘප්තිය, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දක්වා වර්ධනය වන අතර, රාජ්‍ය සේවාවේ කාර්‍යක්ෂමතාවය හා සඵලදායිබව අඩුවීමට අදාලව මෙකී දේශපාළණ මැදිහත්වීම් සිදුකරනු ලබන පාර්ශව සෘජු ලෙසම වග කිව යුතුය.
 
වසර කිහිපයක් තිස්සේ විශ්‍රාම ගැන්වීම නිසි අපරිදි සිදු කිරීම දේශපාළණ අතපෙවීම මගින් අවිධිමත් කැබිනට් තීරණ හරහා සිදුකරගෙන තිබුණු බැවින් ආසන්න වශයෙන් වසර තුනක පමණ කණ්ඩායම් සේවාවේ අග කොටසේ හිරකර ගැනිම එම සංඛ්‍යාව ඉහල යෑමට අදාල ඉතා සාමාන්‍ය තත්වයකි. සේවාවට ඇතුලු කිරීමඅ හෝ විශේෂඥ තාවය ඇති කිරීමට අදාල කටයුතු කිසිවක් එම කාලය තුල අඩු නොකල බැවින්, විශ්‍රාම යන නිළධාරීන්ගේ වැඩ භාර ගැනීම සදහා අඩුවක් ඉන් ඇතිවිය නොහැකිය. එසේම එලෙස හිරවී සිටීම, සේවාවක නිරෝගී ප්‍රගමනයට බරපතල බාධාවක් වන අතර, ඒ හේතුවෙන් දක්ෂ, තරුණ විශේෂඥයින් එක තැන පල්වීම, රට හැර යෑමට ප්‍රධාන හේතුවකි.
 
කෙසේ නමුත්, රාජ්‍ය සේවාව අකාර්යක්ෂම බව හා අතිරික්ත සේවකයින් පිළිබදව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරිපත් කරන න්‍යායාත්මක චෝදනාවට ප්‍රති විරුද්ධව දේශපාළකයින් තවදුරටත් තීන්දු ගනු ලබන්නේනම්, ඊට එරෙහිව පොදු විරෝධයක් පල කිරීම අත්‍යවශ්‍ය බව අප විශ්වාස කරන අතර, දේශපාළණ හිතෛශිවන්තකමට, තමන්ගේ රෝගයට ප්‍රතිකාරකර ගැනීම අරමුණු කර ගනිමින් හෝ ප්‍රතිපත්ති විකෘත්ති කිරීම හරහා පෞද්ගලීකරණය වන්නේ අප හැමට අයත් සේවාව බැවින්, සාධාරණ හා සමාන ක්‍රමවේදයක් ඇති කර ගැනීම අප හැමගේ අවශ්‍යතාවයකි. 
 
කෙසේ නමුත්, මෙවැනි බලපෑම් වලට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපති වරයා මෙවැනි උපදෙස් ගැස්ට් පිට ගැස්ට් ගැසීම සහ රිවස් කිරීම, රට බංකොලොත් වීමට ප්‍රධාන හේතුවක් බව අප සිහිපත් කරන අතර, ගැසට් රිවස් ජනාධිපතිවරයෙකු නොවී සිටීමට වර්ථමාණ ජනාධිපතිවරයා විසින් තරයේ වගබලාගත යුතු බව අප අවධාරණය කරමු.
 
එසේම කිසියම් නිළධාරයෙකු සදහා ඔහුට පෞද්ගලිකවනසේ හෝ සේවා දිගු ලබා දෙන්නේනම්, එය මාස 6කට නොවැඩි කාළයක් සදහා දෙවැනි නිළධාරියෙකු එම කාර්‍ය කාර්‍ය සදහා පුහුණු කරවීමේ නිශ්චිත රාජකාරි පැවරුමක් යටතේ ලබා දිය යුතුය. එසේම එම නිළධාරීන් සදහා තවදුරටත් විදේශ පුහුණුවීම්, සංචාර ලබා දීම ප්‍රතිඵල දායක නොවන අතර, අමතර සේවා ලබා ගැනීමද හැකිතාක් නව අනුප්‍රාප්තිකයින් මගින් ආවරණය කර ගැනීම, අවිචාරවත් මානවසම්පත් කළමනාකරණය පිළිබද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ චෝදනාවන්ගෙන් ගැලවීමට අත්‍යවශ්‍යය.
 
රවී කුමුදේශ් 
සභාපති 
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය 

0773077717