මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයින්ට වැටුප් ගෙව්වේ නිකරුණේද?

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයින්ට වැටුප් ගෙව්වේ නිකරුණේද?
මධ්‍යම සංස්කෘතික අරමුදල නීතියට පිටින් ගොස්  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සේවකයන්  3000 කට ආසන්න පිරිසක් 2018 සහ 2019 වර්ෂවලදී බඳවා ගෙන ඔවුන්ගේ වැටුප් වෙනුවෙන් රුපියල් කෝටි 106ක් පමණ නිකරුණේ වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
 
එම  ආයතනය මෙලෙස කටයුතු කර ඇත්තේ රජයේ ආයතනයකට වෙනත් ආයතනයක් වෙනුවෙන් සේවකයන් බඳවා ගැනීමට ප්‍රතිපාදන සලසා නොතිබියදී බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.
 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහා පුරාවිද්‍යා සහායකයන්( කම්කරුවන්) 2271 දෙනෙකු සහ මුරකරුවන් 1130 දෙනෙකු බඳවා ගැනීමට මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය 2017 වර්ෂයේ  ඔක්තෝබර් 17 වැනි දින අනුමැතිය ලබාදී තිබු බව  එම වාර්තාව සඳහන් කරයි.
 
ඒ අනුව 2018 දෙසැම්බර් 31 දින වන විට බඳවාගත් මුළු සේවක සංඛ්‍යාව 1089කි.( පුරාවිද්‍යා සහායකයන්713ක් සහ  මුරකරුවන් 376ක්)
 
ඉන් පසු 2019 සැප්තැම්බර් 30 වනවිට  සේවකයන් 1487 දෙනකු ( පුරාවිද්‍යා සහයකයන් 934ක් සහ  මුරකරුවන් 553ක්) බඳවා ගෙන තිබුණු බව විගණන අංශ පෙන්වා දෙයි.
 
ඉන් 1415 දෙනකු 2021  පෙබරවාරි   මාසය වන විටද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවයේ යොදවා තිබුණු බව සඳහන් වේ.
 
මේ අතර මධ්‍යම සංස්කෘතික අරමුදලේ  පාලන අංශය ඉදිරිපත් කළ තොරතුරු අනුව  එහි තත්‍ය සේවක සංඛ්‍යාව  2780 ක් වුවත්  ආයතනයේ ප්‍රධාන පරිපාලන නිලධාරී විසින් 2019 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව තත්ව සේවක සංඛ්‍යාව 3,500 ක්වූ බව  පවසන විගණන කාර්යාලය  එම වෙනසට හේතුව පැහැදිලිව  ඉදිරිපත්  නොකෙරුණු බවද  අනාවරණය කරයි.