රාජ්‍ය ආයතන පුරප්පාඩු පුරවන්න විකල්ප සොයන්නැයි ඉල්ලයි

රාජ්‍ය ආයතන පුරප්පාඩු පුරවන්න විකල්ප සොයන්නැයි ඉල්ලයි
රජයේ ආයතනවල හිස්ව ඇති තනතුරු පුරප්පාඩු පිරවීමට අලුතින් සේවකයන් ඉදිරියේදී බඳවා නොගන්නා නිසා සේවා අඩාළ නොවී පවත්වාගෙන යෑමට අදාළ බලධාරීන් විසින් නිර්මාණාත්මක විකල්ප විසඳුම් සොයාගත යුතු යැයි මහා භාණ්ඩාගාරය විසින් දන්වා තිබේ.
 
කොළඹ රාජගිරිය පිහිටි ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් රාජ්‍ය මුදල් ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය විසින් මේ සම්බන්ධයෙන් වූ මහා භාණ්ඩාගාරයේ මතය අනාවරණය කර ඇත.
 
ඒ් අනුව රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු පිරවීමට අලුතින් සේවකයන් බඳවා නොගන්නා තත්ත්වයක් යටතේ වුවත් කිසිදු අඩුපාඩුවක් නැතිව එම සේවා පවත්වාගෙන යෑමට අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ක්‍රියා කළ යුතුය.
 
ඒ අනුව රාජ්‍ය සේවයේ දැනට පුරප්පාඩු පවතින තනතුරු සඳහා උපාධිධාරි පත්වීම් ලැබූ හෝ සමාන්තර සේවා පත්වීම් ලැබූ දක්ෂ තරුණ ඌණ උපයෝජිත සේවා මුරයන්හි නියැළී සිටින අයගෙන් එම පුරප්පාඩු විධිමත් ලෙස සපුරාගත යුතු වේ.
 
උදාහරණයක් ලෙස දැනට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරි පුරප්පාඩු 330ක් පවතින බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා කළ අනාවරණය ගෙනහැර දක්වමින් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා එම පුරප්පාඩු පියවා ගැනීම සඳහා ඉදිරියේදී දෙපාර්තමේන්තුවේ හෝ පිටත වෙනත් රාජ්‍ය ආයතනවල සේවය කරන දක්ෂ, තරුණ නිලධාරීන්ට අවස්ථාව දීමට ක්‍රියා කළ යුතු බව කීය.
 
එලෙස බඳවා ගන්නා පිරිස නිසා සුරාබදු දෙපාර්තමේන්තුවේ පාලන ව්‍යුහයට හෝ දැනට සේවයේ සිටින පිරිසගේ උසස්වීම් සහ අනෙකුත් කටයුතු සඳහා බාධාවක් ඇති නොවන අයුරින් කටයුතු සැලසුම් කළ යුතු යැයිද රාජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේය.