විනිවිදභාවය වෙනුවෙන් කැපවන ලෙස ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයේ දී TISL ආයතනය පොදු අධිකාරීන්ගෙන් ඉල්ලා සිටියි

විනිවිදභාවය වෙනුවෙන් කැපවන ලෙස ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයේ දී TISL ආයතනය පොදු අධිකාරීන්ගෙන් ඉල්ලා සිටියි

මහජනයාට තොරතුරු දැනගැනීමට ඉඩ හරින විට දේශයක් සුරක්ෂිත වන බව ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා වරක් පවසා ඇත. රටක උන්නතිය උදෙසා තොරතුරුවලට ඇති ප්‍රවේශයෙහි වැදගත්කම ඉන් අදහස් කෙරේ. පුරවැසි අයිතිවාසිකමක් බවට පත්ව ඇති තොරතුරු දැනගැනීම පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් කතිකාවතක් ඇති කර එය සාමාන්‍ය ජන විඥානයේ කොටසක් බවට පත් කිරීමේ අරමුණෙන් සැප්තැම්බර් 28 වන දින 'ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය - International Right to Know Day' ලෙස සැමරීම ආරම්භ විය. පසුකාලීනව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 'තොරතුරු සඳහා විශ්ව ප්‍රවේශය සඳහා වූ ජාත්‍යන්තර දිනය - International Day for the Universal Access to Information' ලෙස මෙදින නම් කරන ලදි.

ශ්‍රී ලංකාව පුරා පිළිලයක් මෙන් පැතිර පවතින දූෂණයට සහ වංචාවට එරෙහි සාමූහික ප්‍රයත්නයට සහාය වීමේ 20 වසරක සිය මෙහෙවර ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් සිහිපත් කරන මොහොතක මෙම දිනය සැමරීම සුවිශේෂ කාරණයකි. තොරතුරු දැනගැනීමේ අයිතිය ලාංකිකයන් හට හිමි වූ දා පටන් රටවටා ජනතාව සමඟ ඒකාත්මික වෙමින් මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය කැප වී කටයුතු කරයි. 

සක්‍රිය ජනතා සහභාගිත්වයකින් දූෂණය මුලිනුපුටා දැමීමට තොරතුරු දැනගැනීමේ අයිතිය තරම් ප්‍රබල මෙවලමක් මෙතුවක් බිහි වී නොමැත. එයට හේතුව නම් පොදු අධිකාරීන් ලෙස හඳුන්වනු ලබන ආයතන ජනතාවට වගවිය යුතු බවට වන අවශ්‍යතාව තෘප්ත කරන නෛතික උපාංගය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත වීමය. ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය වැනි දිනයක් ස්ථාපිතව ඇත්තේ පුරවැසි අයිතිවාසිකමක් උදෙසා තමා සැබෑ ලෙසම කැප වී කටයුතු කරනවාදැයි පොදු අධිකාරීන් ස්වයං නිර්ණයකට එළැඹීමටත්, තොරතුරුවල නාමයෙන් පුරවැසියන් වෙත ලබා දී ඇති අප්‍රමාණ බලය පිළිබඳ දැනුම්වත්භාවයක් ඇති කර ගැනීමටත් විනා හුදු නාමික සැමරුමකට නම් නොවේ. 

ලොව පුරා රටවල් ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන හරහා විවිධ මට්ටම් යටතේ මෙම අයිතිය පුරවැසියන් වෙත ලබා දී තිබේ.  රජයේ අමාත්‍යාංශ, රජයේ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, පළාත් පාලන අධිකාරීන්, පළාත් සභාවකින් ස්ථාපිත කෙරෙන කවර හෝ ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, උසස් අධ්‍යාපන ආයතන, පුද්ගලික අධ්‍යාපන ආයතන, සියලුම අධිකරණ, විනිශ්චය සභා සහ යුක්තිය පසිඳලීම පිණිස ස්ථාපිත ආයතන ශ්‍රී ලංකාවේ පොදු අධිකාරීන් ගණයට අයත් වේ. මෙම අධිකාරීන් කාර්යක්ෂමව සහ විනිවිදභාවයෙන් යුතුව යාවත්කාලීන තොරතුරු ජනතාවට ලබා දිය යුතු බවට වන වගකීමක් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මගින් නියම කර ඇත. පනතෙහි ප්‍රතිපාදනවලට අනුගත වීම තුළින් ම මෙම ආයතනවල විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය වීමත්, සිය ප්‍රජාතාන්ත්‍රික අයිතියෙන් පුරවැසියා සවිබල ගැන්වීමත් සිදු වේ.

එමෙන්ම, තොරතුරක් ඉල්ලා සිටීමට පෙර ලබා දීම, එනම් ප්‍රගාමී අනාවරණය යනු විවෘත ආණ්ඩුකරණයෙහි මූලික පියවරකි. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත මගින් පොදු අධිකාරීන් වෙත එලෙස තොරතුරු අනාවරණය කිරීමට නියම කොට ඇත. එනම් අයවැය වාර්තා, ප්‍රසම්පාදන තොරතුරු, ව්‍යාපෘති වාර්තා සහ අනෙකුත් වැදගත්කමක් උසුලන ඕනෑම තොරතුරක් වෙබ්අඩවි මාර්ගයෙන් හෝ වෙනත් ක්‍රමවලින් ජනතාව වෙත ලබා දීම පොදු අධිකාරීන් සතුව පවතින වගකීමකි. නමුත් එවැනි විනිවිදභාවයක් සහ වගවීම පිළිබඳ හැඟීමකින් කටයුතු කරන සංස්කෘතියක් අප රට තුළ දක්නට තිබෙන බවක් නොහැඟේ.

තොරතුරු අනාවරණය කිරීම වෙනුවට තොරතුරු ජනතාවගෙන් සඟවන සංස්කෘතියක කොටස්කරුවන් වීම නිසා පොදු අධිකාරීන් ඇතුළු සමස්ත රාජ්‍ය පාලනයට එරෙහිව ලාංකේය ජනතාව වෙතින් අරගලයක් මතු විය. තොරතුරුවල වැදගත්කම, පුරවැසියෙකු ලෙස තමා සතු බලය, තොරතුරුවලට ප්‍රවේශයක් නොමැති විට දූෂණය සක්‍රිය වන ආකාරය, දූෂණය මැඩලීමට තමා සතු මෙවලමෙහි ඇති වටිනාකම, දේශපාලනඥයන්ගේ වත්කම් සහ බැරකම්වල අඩංගු තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම යනාදී කරුණු පිළිබඳ පෙර නොවූ විරූ අවබෝධයක් සහ ඒ සම්බන්ධයෙන් තව තවත් දැනුමින් සන්නද්ධ වීමේ පිපාසයක් පුරවැසියන් හට ඇති විය. එහි බලපෑමට යටත්ව, පෙරට වඩා කාර්යක්ෂම සහ පැහැදිලි වෙනසකින් යුත් ජනතා සේවයක් වෙනුවෙන් කැපවීමට දේශපාලනඥයන් සහ පොදු අධිකාරීන්ට සිදුව ඇත.

අප රට ආර්ථික සහ සමාජයීය වශයෙන් තීරණාත්මක යුගයක් පසු කරමින් සිටියි. එම තත්ත්වය උදා වූයේ පුරවැසි අයිතිවාසිකම යටපත් කරගනිමින් දූෂණය පැන නැගි නිසා බව අවිවාදිතය. පුරවැසියන් සවිබල ගැන්වීමට නම් ජනතාවට පහසුවෙන් තොරතුරු වෙත ප්‍රවේශ වීමේ හැකියාව තිබිය යුතු අතර ඒ වෙනුවෙන් පොදු අධිකාරීන්ගේ කාර්යක්ෂම, විවෘත සහ ප්‍රගාමී ක්‍රියාකලාපය අනිවාර්ය වේ. මෙම පනත ධනාත්මකව සලකා, ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් කැපවන ලෙස ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයේ දී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පොදු අධිකාරීන්ගෙන් ඉල්ලා සිටියි. අප රටේ පුරවැසියන් තමා සතු අයිතිවාසිකම අවබෝධ කරගත්, නොබියව තොරතුරු විමසන සංස්කෘතියක කොටස්කරුවන් වනු දැකීම ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දින අපගේ අපේක්ෂාවයි.