ඛනිජ තෙල් සංස්ථාව පූර්ණ රාජ්‍ය ව්‍යවසායක් බව නිලධාරීන් සිහියේ තබාගත යුතුයි - ලංකා බැංකු සේවක සංගමය

ඛනිජ තෙල් සංස්ථාව පූර්ණ රාජ්‍ය ව්‍යවසායක් බව නිලධාරීන් සිහියේ තබාගත යුතුයි - ලංකා බැංකු සේවක සංගමය

මහජන බැංකුවේ ගිණුම්වලට දෛනික මුදල් තැන්පතු බැර නොකරන ලෙස ඛනිජ තෙල් සංස්ථාව විසින් ලබාදී ඇති උපදෙස් අසාධාරණ මෙන්ම සදාචාරාත්මක ද නොවන බවත් ඛණිජ තෙල් සංස්ථාව පූර්ණ රාජ්‍ය ව්‍යවසායක් වන අතර ඔවුන් විසින් තීන්දු තීරණ ගැනීමේ දී රාජ්‍යයට හා මහජනයාට වගකීමට බැඳී සිටින බව ලංකා බැංකු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වන්නේ, සැප්තැම්බර් 26 වැනි දින සිය දෛනික මුදල් තැන්පතු මහජන බැංකුවේ ගිණුම්වලට බැර නොකරන ලෙස ඛණිජ තෙල් සංස්ථාවේ මුල්‍ය අංශ ප්‍රධානී විසින් ඉන්ධන හල් හිමියන් වෙත උපදෙස් ලබාදී ඇති බව අපවෙත වාර්තා වේ.

ඒ වෙනුවට වෙනත් රාජ්‍ය හා පෞද්ගලික බැංකු අංක ගිණුම් විස්තර ලබාදෙමින් ඒ වෙත මුදල් බැර කරන මෙන් ඔවුන් වෙත දන්වා ඇත. ඛණිජ තෙල් සංස්ථාවේ පාලනාධිකාරිය විසින් ගෙන ඇති මෙම තීරණය අසාධාරණ මෙන්ම සදාචාරාත්මක ද නොවන බව බැංකු පද්ධතිය තුළ ක්‍රියාත්මකවන ප්‍රධානතම වෘත්තීය සමිතිය ලෙස අප පෙන්වා දීමට කැමැත්තෙමු.

“ඛණිජ තෙල් සංස්ථාව පූර්ණ රාජ්‍ය ව්‍යවසායක් වන අතර ඔවුන් විසින් තීන්දු තීරණ ගැනීමේ දී රාජ්‍යයට හා මහජනයාට වගකීමට බැඳී සිටී.“

එසේම මහජන බැංකුව ද පූර්ණ රාජ්‍ය ව්‍යවසායක්වන අතර එහි පැවැත්ම ද රාජ්‍යයට හා මහජනතාවට ඍජුව බලපානු ලබයි. එසේම දිගුකාලීනව සංස්ථාවට බැංකු පහසුකම් සැපයීමේ ක්‍රියාවලියේ ප්‍රමුඛයෙකු ලෙස මහජන බැංකුව කටයුතුකර ඇති අතර ඒ නිසා සංස්ථාවට සිය සේවය මහජනතාවට සැපයීමට විශාල පහසුවක් සැලසී තිබිණි. එසේම එම පහසුකම් සැපයීම තුළ පැන නැගුනු තවමත් නොවිසඳුනු මූල්‍ය බැඳීම් රැසක් සංස්ථාව හා මහජන බැංකුව අතර පවතී.

රාජ්‍ය වාණිජ බැංකුවක් ලෙස තමාට සැපයිය හැකි උපරිම සීමාවන් දක්වා එම පහසුකම් බැංකුව විසින් සපයා ඇති අතර සහෝදර රාජ්‍ය ව්‍යවසාය ගනුදෙනුකරුවෙකු ලෙස ඒ පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කිරීම සංස්ථාව සතු සදාචාරාත්මක වගකීමකි. දිගු කලක් තිස්සේ ඛණිජ තෙල් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි පහසුකම් සැපයීම, සංස්ථාවේ කෙටි හා දිගුකාලීන මූල්‍ය අවශ්‍යතා පිරිමැසීම සිදුකරන අතරම ඉන්ධන හල් හිමියන්ගේ දෛනික මුදල් තැන්පතු රැස් කරමින් ඒවා ප්‍රේෂණය කිරීම යනාදී සියලු පහසුකම් බැංකුව විසින් සංස්ථාව වෙත සපයා ඇත්තේ හුදු සාමාන්‍ය ගනුදෙනුකාර සීමාවෙන් එපිට සිටිමින් වන අතර ඒ පිළිබඳව අවබෝධයකින් යුතුව සංස්ථා පාලනාධිකාරිය තීන්දු තීරණ ගතයුතුව ඇත.

තවද දිවයින පුරා ඉන්ධන හල් හිමිකරුවන් බොහොමයක් දෛනික මුදල් තැන්පත් කිරීමට අමතරව මහජන බැංකුවේ දිගුකාලීන ගනුදෙනුකරුවන් ද වන බැවින් මෙවැනි හදිසි නියෝග ලබාදීම තුළ ඔවුන් ද ප්‍රායෝගික අපහසුතා ගණනාවකට ලක්කර ඇත.

රටේ පවතින විදේශ විනිමය අර්බුදය හා අනිකුත් ආර්ථිකමය ගැටලු තුළ ඛණිජ තෙල් සංස්ථාව  සිය ව්‍යාපාරික කටයුතු හා සම්බන්ධ විවිධ අපහසුතාවන්ට මුහුණ පා සිටින බව සත්‍යයකි. නමුත් එයට පිළියම මෙවැනි අත්තනෝමතික තීන්දු නොව දිගු කලක් සමීපව කටයුතු කළ රාජ්‍ය ව්‍යවසායන් දෙකක් ලෙස අභ්‍යන්තරව යම් සාකච්ඡාවක් තුළින් පවතින ගැටලුවලට පිළියම් සපයා ගනිමින් ආයතන දෙකේම ගෞරවය හා පැවැත්ම ආරක්‍ෂා කිරීම බව අප දැඩිව අවධාරණය කරමු.

තවද විශේෂයෙන්ම වත්මන් ආණ්ඩුවට හා මෙම ආයතන පරිපාලනය කරනු ලබන අමාත්‍යංශවලට මෙවැනි ගැටලු නිරාකරණය කිරීමට මැදිහත්වීම විශාල වගකීමක් පවතින බව අප පෙන්වා දෙමු. ඒ මන්ද යත් මෙම තීරණවල අවසන් ප්‍රතිඵලය ඍජුව හා වක්‍රව පොදු මහජනතාවට අවසන් වශයෙන් බලපෑම් එල්ල කරන බැවින් ඒවා වලක්වා ගැනීමට දැඩි අවශ්‍යතාවක් පවතින බැවිනි. එබැවින් මෙම වැරදි තීන්දුව වහා නිවැරදි කරන මෙන් සියලු වගකියයුතු අංශ වෙතින් අප ඉල්ලා සිටින අතර ඉදිරියේ දී මෙවැනි තත්වයන් ඇතිවීම වැලැක්වීමට සුදුසු පියවර ගන්නා මෙන් ද සියලු බලධාරින් වෙත අප අවධාරණය කර සිටිමු.

එසේම මෙම සිදුවීමේ දී ඉතා නිවැරදි ස්ථාවරයන්වල සිටිමින් සිය අදහස් ඉදිරිපත් කළ ඉන්ධන හල් හිමියන්ගේ සංගමය හා එහි නියෝජිත මහතුන් වෙත ද අප සංගමයේ ස්තුතිය පුදකර සිටින අතර ඉදිරියේ දී ඔවුන්හට අවශ්‍ය කරන යම් සහායක් මේ නම් ඒ සඳහා ද අප නොපැකිලව ඉදිරිපත්වන බව ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු 18 ක බහුතර සේවක ප්‍රජාව නියෝජය කරන වෘත්තීය සංගමයක් ලෙස දැඩිව අවධාරණය කර සිටිමු.