මේ රැකියා ජාවාරමට ඔබත් හසු වුණාද?

මේ රැකියා ජාවාරමට ඔබත් හසු වුණාද?
ඌව පළාතේ තරුණ තරුණියන්ට රාජ්‍ය ආයතනවල ස්ථීර රැකියා දෙන බවට ව්‍යාජ පත්වීම් ලිපි ලබා දෙමින් රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් වංචා කළ පාසල් ගුරුවරියක ඇතුළු කාන්තාවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිස් විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි. 
 
වැලිමඩ කැප්පෙටිපොළ විද්‍යාලෝක විද්‍යාලයේ ගුරුවරියක සමඟ බදුල්ල හා හාලිඇළ ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු මුදල් වංචාව සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
 
සිද්ධියට සම්බන්ධ බව කියන කැප්පෙටිපොළ විද්‍යාලෝක විද්‍යාලයේ ගුරුවරිය වැඩ තහනමකට ලක්කිරීමට ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල මහත්මිය විසින් දැනටමත් කටයුතු කර තිබේ.
 
මෙම විවාහක සැකකාරියන් තිදෙනා එක්ව වසර ගණනාවක් තිස්සේ බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, මහියංගණ,පස්සර, වැල්ලවාය, හාලිඇළ, හපුතලේ යන ප්‍රදේශවල රැකියා නොමැති තරුණ තරුණියන්ට පාසල් පුස්තකාල සේවා, රියදුරු, ලිපිකරු, කම්කරු, ඛනිජ තෙල් සංස්ථාවේ ලිපිකරු ඇතුළු රජයේ ආයතනවල ස්ථිර රැකියා දෙන බව කියා එක් රැකියාලාභියකුගෙන් රුපියල් ලක්ෂ තුන, හතර, පහ, හය වැනි ප්‍රමාණයේ මුදල් ලබාගෙන ඒ අයට ව්‍යාජ සැකසු ඌව පළාත් කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඛනිජ තෙල් සංස්ථාවේ ලිපි ශීර්ෂ සහිත පත්වීම් ලිපි ලබා දී තිබෙන බව පොලිසිය කියයි.
 
මුදල් ගෙවීමෙන් පසු පත්වීම් ලිපි ලබාගත් තරුණ තරුණියන් රැකියාව ලැබු රාජ්‍ය ආයතනයට යෑමට පෙර ඔවුන්ට සැකකාරියන් තිදෙනා විසින් දුරකතන ඇමතුම් ලබාදී කොවිඩ් හා රටේ පවතින අර්බුදකාරී තත්ත්වය යටතේ වැඩ භාරගැනීම දින කිහිපයකින් කල් ගිය බව පවසමින් රැකියා ස්ථානයට යෑම වළක්වා තිබෙන බව ද පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකාරියන් තිදෙනාගේ මුදල් වංචාවන් පිළිබඳ මේ වන විට බණ්ඩාරවෙල විශේෂ අපරාධ අංශයට අට දෙනෙකු විසින් රුපියල් ලක්ෂ පනහකට අධික මුදලක් වංචා කළ බව කියමින් කළ පැමිණිලි මත සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබෙන අතර බදුල්ල, බණ්ඩාරවෙල ඇතුළු පළාතේ පොලිස් ස්ථානවලට මේ වන විටත් තවත් පැමිණිලි රැසක් ලැබෙමින් පවතින බවත් ඒ අනුව මොවුන් තිදෙනා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර ඇති බවට සැක කරන බවත් පොලිසිය කියයි. 
 
අත් අඩංගුවට ගත් සැකකාරියන් තිදෙනා වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.