පැන ආ සංක්‍රමණිකයින්ට පුරවැසිභාවය ලබාගන්න අවස්ථාව තිබිය යුතුයි

පැන ආ සංක්‍රමණිකයින්ට පුරවැසිභාවය ලබාගන්න අවස්ථාව තිබිය යුතුයි
පුරවැසි සංශෝධන පනත යටතේ ශ්‍රී ලංකාව ආවරණය වී නොමැති වුවද,ශ්‍රී ලංකාවේ ජන වාර්ගික ආරවුල් හේතුවෙන් ඉන්දියාවට පලා ආ හින්දු දෙමළ ජාතිකයින්ටද, ඉන්දීය පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව හිමිවන බව මදුරාසි මහාධිකරණයේ විනිසුරු ජී ආර් ස්වාමිනාදන්  ප්‍රකාශ කර තිබේ.
 
මදුරාසි මහාධිකරණය තුළ වාර්ගික ආරවුල් හේතුවෙන් ඉන්දියාවට පැමිණි දෙමාපියන් ශ්‍රී ලාංකික පුරවැසියන් වන එස්.අබිරාමි නමැති 29 හැවිරිදි තරුණියක් විසින් ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගනිමින් හෙතෙම මේ බව සඳහන් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි.
 
ඉන්දීය පාර්ලිමේන්තුව 2019 වසරේදී 1955 පුරවැසි පනත සංශෝධනය කළ අතර, එහිදී පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය වැනි අසල්වැසි රටවල පීඩාවට පත් වූ සුළු ජාතීන්ට ඉන්දියානු පුරවැසිභාවය ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලදී.
 
පෙත්සම ගොනුකළ එස්.අබිරාමි නමැති තරුණිය, ශ්‍රී ලංකාවේ සිට පැන ආ යුවළකට දාව ඉන්දියාවේ ට්‍රිචි නගරයේදී උපත ලබා ඇත.දෙමාපියන් ශ්‍රී ලාංකිකයන් වීම හේතුවෙන් අවුරුදු 29 ගත වුවද, ඉන්දීය පුරවැසිභාවය ලබා ගැනීමට හැකියාවක් ලැබී නැත.ඒ හේතුවෙන් ඇය මදුරාසි මහාධිකරණයේ ඉන්දීය පුරවැසිභාවය ලබා ගැනීම සඳහා පෙත්සමක් ගොනුකර තිබිණි.
 

NDTV ඇසුරිණි.