අර්ථසාධක අරමුදල අවදානමේ ?

අර්ථසාධක අරමුදල අවදානමේ ?

සේවක අර්ථසාධක අරමුදල පත්ව ඇති අවදානම් තත්ත්වය පිළිබඳව අන්තර් සමාගම් සේවක සංගමය විසින් අර්ථසාධක අරමුදලේ අධිකාරී ඒ. ජී. යූ. තිලකරත්න මහතා වෙත ලිපියක් යවමින් මේ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා දිනයක් හා වෙළාවක් දෙන ලෙස ඉල්ලා සිටියි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ඔබ දන්නා පරිදි, ශ්‍රී ලංකාවේ විශාලතම අරමුදල වන්නේ සේවක අර්ථසාධක අරමුදලයි. එහි දළ වටිනාකම මේ වනවිට රුපියල් බිලියන 3500 ක් පමණ වේ. තවද, එම අරමුදලෙන් 95% කට වඩා වැඩි කොටසක් ආයෝජනය කර ඇත්තේ ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වල බව ඔබත් දන්නා කරුණකි.

මේ අතර, පසුගිය මාස 06 තුළදී ශ්‍රී ලංකා රජයේ විදේශ ණය කිසිදු දැනුම්දීමකින් තොරව ඉතා හදිසියේ 2022. 04. 12 වන දින පැහැර හැරීමත් සමගම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය දැන් "D" මට්ටමට නොහොත් "Defualt" මට්ටමට, එනම් ‘‘බංකොලොත්’’ මට්ටමට කඩා වැටී ඇති බව ද ඔබ දන්නා කරුණකි. එවැනි ණය ශ්‍රේණියක් සහිත ආයතනයක හෝ රජයක හෝ රටක ආයෝජනය කිරීම ඉතා දැවැන්ත අවදානමක් බව ඔබට අමුතුවෙන් කිවයුතු නැත.

එසේ වුවද ඔබ සෑම සතියක් පාසාම වැඩකරන ජනතාවගේ ඉතිරිකිරීම්, ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කරනු ලබන බව අපට දැනට ලැබී ඇති තොරතුරු අනුව දැනගන්නට ලැබී තිබේ. එසේ ආයෝජනය කිරීමෙන් සමස්ත ජනතාවගේ දශක ගණනාවක් තිස්සේ ඉතිරිකිරීම් ඔබගේ එම ක්‍රියාව හරහා දැවැන්ත අවදානමකට පත්වනු ඇත.

ඔබ එසේ කරන්නේ කුමන පදනමක් යටතේද යන්න අපට සිතාගැනීමට නොහැකි හෙයින්, සමස්ත වැඩකරන ජනතාව වෙනුවෙන් සහ සේවක අර්ථසාධක අරමුදලේ විසිහය ලක්‍ෂයකට අධික සක්‍රිය දායකයන් වෙනුවෙන් අප, ඔබගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ මින් ඉදිරියට මෙම අරමුදලින් කිසිදු මුදලක් ශ්‍රී ලංකා රජයේ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජන නොකරන ලෙසත්, කල්පිරෙන සෑම බිල්පතක් සහ බැඳුම්කරයක් ම නැවත මුල්‍යකරණය කරන ලෙසත් ය. ඔබ එසේ නොකළහොත්, ඒ සියලූම ආයෝජන වෙනුවෙන් ඔබ වගකිවයුතු වන බව අකැමැත්තෙන් වුවද ප්‍රකාශ කර සිටින්නෙමු.

තවද, අපගේ මෙම ඉල්ලීමට පටහැනිව ඔබ එසේ දිගින් දිගට එම ආයෝජන කිරීමේ යෙදුනහොත්, ඔබට විරුද්ධව නිළ වශයෙන් සහ පෞද්ගලිකවත් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අප සංගමය පසුබට නොවන බව ද මෙමගින් දන්වා සිටිමු.

මේ අතිශය වැදගත් කරුණ සම්බන්ධව ඔබත් සමග ඉතා ඉක්මණින් සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වන බැවින් එම සාකච්ඡාව සඳහා අප වෙත ඉතා ඉක්මණින් අවස්ථාවක් ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

මෙම ලිපිය සම්බන්ධයෙන් ඔබගේ ඉක්මන් ප්‍රතිචාර අප සංගමය වෙත දන්වා සිටින මෙන් ඉතා  ඕනෑකමින් යුතුව ඉල්ලා සිටින්නෙමු.