ලංගම සේවකයින්ට අමානුෂික ප්‍රහාර නවත්වන්නයි ඉල්ලයි

ලංගම සේවකයින්ට අමානුෂික ප්‍රහාර නවත්වන්නයි ඉල්ලයි

පුද්ගලික බස්රථ හිමියන් ඇතුලූ සේවකයන් විසින් ශ්‍රී ලංගම බස්රථ වල සේවය කරන සේවකයින් හට අමානුෂික ලෙස පහර දීමේ ක්‍රියාවලිය වැලක්වීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය විසින් ප්‍රවාහන අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, පුද්ගලික බස්රථ හිමියන් ඇතුලූ සේවකයින් විසින් ශ‍්‍රීලංගම බස්රථ වල සේවය කරන සේවකයන් හට අමානුෂික ලෙස පහර දීමේ නින්දිත ක්‍රියාවලිය දිගින් දිගටම අඛණ්ඩව සිදුවෙමින් පවතී. ඊට හොඳම විසඳුම රත්නපුර ඩිපෝවේ මහනුවර රත්නපුර අතර ධාවනය කළ WP - 8647 අංක දරණ බස්රථයේ කොන්දොස්තර මහතාට 2022.10.25 වන දින අමානුෂික ලෙස පහර දීමේ සිද්ධියයි.

ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල මන්ත්‍රීවරයෙකුට අයත් රාජපක්‍ෂ ට්‍රැවල්ස් නැමති පුද්ගලක බස්රථයේ සේවකයින් විසින් මෙම පහරදීම සිදුකර ඇත. එම අමානුෂික පහරදීම නිසා කොන්දොස්තර මහතා දැනට රත්නපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. මෙම ක්‍රියාවලිය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් රත්නපුර පොලීසිය විසින් සිදුකර නැත. මේ පහරදීම පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් සිදුකර එම මැරයින් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා රත්නපුර ඩිපෝවේ මේ මොහොතේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිස ඇත.

මුදල් උපයා ලාබය මත පමණක්ම පදනම් කරගෙන ධාවනය කරගෙන පුද්ගලික බස්රථ වල මැරයින්ට සේවාවක් පමණක් මත පදනම් කරගෙන ධාවනය කරන ශ්‍රී ලංගම බස්රථ වල සේවකයින් හට අමානුෂික ලෙස පහරදීමේ නින්දිත ක්‍රියාවලිය අප සංගමය දැඩි ලෙස හෙලා දකින්නෙමු.

ඇමතිතුමනි, මේ පිළිබඳව ඔබතුමා කඩිනමින් මැදිහත් වී ශ්‍රී ලංගම සේවකයින් හට අමානුෂික ලෙස පහරදුන් ආණ්ඩුවේ මන්ත‍්‍රීවරයෙකුට සම්බන්ධකම් ඇති රාජපක්‍ෂ ට්‍රැවල්ස් බස්රථයේ සේවකයින් වහාම අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියට මැදිහත්වී රත්නපුර ඩිපෝවේ පමණක් දැනට ක්‍රියාත්මක වන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට ක්‍රියාකරන ලෙස අප සංගමය ඔබතුමාගෙන් වගකීමෙන් යුතුව ඉල්ලා සිටින අතර එම ඉල්ලීමට සාධාරණයක් සිදුනොකළහොත් මෙම අමානුෂික ක්‍රියාව පදනම් කරගෙන ශ්‍රී ලංගම සියලූම ඩිපෝවල සේවකයින් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයන්වලට පිවිසීමට බොහෝ දුරට ඉඩකඩ ඇත.