පත්වීම් නොදුන් උපාධිධාරීන් හා කළමනාකරණ සේවා බඳවා ගැනීම් ගැන අග්‍රාමාථ්‍යවරයාගෙන් ප්‍රකාශයක්

පත්වීම් නොදුන් උපාධිධාරීන් හා කළමනාකරණ සේවා බඳවා ගැනීම් ගැන අග්‍රාමාථ්‍යවරයාගෙන් ප්‍රකාශයක්

උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී යම් හේතු මත පත්වීම් ලබා නොදුන් අය සම්බන්ධයෙන්, අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ මූලිකත්වයෙන් පිහිටුවා ඇති කමිටුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන කරුණු අනුව, තීරණයකට එළඹීමට නියමිත බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා (08 දින) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

එමෙන්ම, කළමනාකරණය සේවා විභාගයේ ප්‍රතිඵල මත, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇති 690 දෙනා බඳවා ගැනීම සම්බන්ධයෙන්ද ඉහත කමිටුවේ අවධානය යොමු වී ඇති බවද, අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර ඇත්තේ, විපක්ෂ නායකවරයා පසුගිය දා විමසූ ප්‍රශ්න කිහිපයකට, පිළිතුරු සභාගත කරමිනි.

විපක්ෂ නායකවරයා, අග්‍රාමාත්‍යතුමාගෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා විමසූ ප්‍රශ්නවලට, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2022.11.08 පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙමින්, උත්තරය සභාගත කළේය. උපාධිධාරීන් 60000 කට පත්වීම් දීමේදී අතපසුවීමක් නිසා 465 දෙනෙකුට පත්වීම් ලබා දීම් මග හැරුන බවත්, ඒ සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳ, විපක්ෂ නායකවරයා එක් ප්‍රශ්නයක් විමසූ අතර

දෙවනුව විමසුවේ,

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට අදාළව, 2019/20 කළමනාකරණ සේවා තරඟ විභාගයක් පවත්වා පුරප්පාඩු 2300ක් සඳහා 590 දෙනෙකු තෝරාගෙන 2022. 03.28 ඊට අනුමැතිය ලැබුණද,.2022.04.26 රාජ්‍ය පරිපාලන 03/2022 චක්‍රලේඛය යටතේ මෙම බඳවා ගැනීමි නතර කර ඇති බවය.

යහපාලන ආණ්ඩු කාලයේ ව්‍යාපෘති සහයකයින් ලෙස 7500ක් බඳවා ගත් බවත්. එයින් 6547 කට පත්වීම් ලිපි ලබා දුන් බවත්, එහෙත් වර්තමාන ආණ්ඩුව පැමිණි හැටියේ ඒ සියල්ල නතර කළ බවත්, තුන්වන ප්‍රශ්නය ලෙස විමසීය.

මේ සඳහා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සභාගත කළ පිළිතුරු මෙසේය.

පසුබිම

පවත්නා දුෂ්කර ආර්ථික වාතාවරණය තුළ රජය තාවකාලිකව බඳවා ගැනීම් අත්හිටුවා ඇති අතර රාජ්‍ය සේවයේ කාර්ය මණ්ඩල සමාලෝචනය පිළිබඳවද අවධානය යොමු වී ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයකට ද එළඹ ඇත. කෙසේ වෙතත් රාජ්‍ය සේවයේ විශාලත්වය පිළිබඳවද කරුණු ඉදිරිපත් වෙමින් පවතී. ඒ අනුව රජයේ ප්‍රතිපත්තිය වන්නේ රාජ්‍ය සේවය සඳහා වන අත්‍යාවශ්‍ය බඳවා ගැනීම් පමණක් සිදු කිරීමට ඇති ඉඩ කඩ සොයා බලා ඊට පිළියම් කිරීමය. එසේ ම නවක නිලධාරී බඳවා ගැනීම් නොවන උසස් වීම් මාදිලියේ බඳවා ගැනීම්, බාධාවකින් තොරව සිදු කිරීමට ද රජයේ විශේෂ අවධානය යොමු වී ඇත.

මෙම අත්‍යාවශ්‍ය බඳවා ගැනීම් සිදු කළ හැකි වන්නේ ද භාණ්ඩාගාරයේ පවත්නා තත්ත්වය පිළිබඳ විමසා බලා මහත් සකසුරුවමින් වන අතර, ඉහත සඳහන් කරන ලද බඳවා ගැනීම් සමාලෝචනය පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයට අනුව මේ සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් ද පත් කර ඇත. කමිටුව විසින් අමාත්‍ය මණ්ඩලය වෙත සිදුකරන වාර්තා කිරීම් අනුව දැනට තාවකාලිකව නතර වී ඇති අත්‍යාවශ්‍ය බඳවා ගැනීම් සම්බන්ධව තීරණ ගැනීමට නියමිත ය.

01. පළමුවන ප්‍රශ්නය - උපාධිධාරීන් 60000 කට පත්වීම් දීමේදී අතපසුවීමක් නිසා 465 දෙනෙකුට පත්වීම් ලබා දීම් මග හැරුණා. මීට පෙර ද අග්‍රාමාත්‍යවරයාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු කළ අතර එය විසඳන බව ප්‍රකාශ කලා. අමාත්‍යාංශ ලේකම් මායාදුන්නේ මහතාද පැවසුවේ කමිටුවක් පත්කර ඇති නිසා ඊට යොමු කර මෙම ප්‍රශ්නය විසඳන බවයි. මෙම උපාධිධාරීන් 456 ක සිදුවූ අසාධාරණය විසඳන්නේ කවදාද?

පිළිතුර - උපාධිධාරීන් 60000 කට පත්වීම් ලබා දීමේ දී 465 දෙනෙකුට අතපසු වීමකින් මග හැරී තිබීම යන්න පිළිගත නොහැක. ඉහත උපාධිධාරී වැඩ සටහනේ යම් ප්‍රමාණයකට පත්වීම් ලබා දීමට නොහැකි වූයේ පහත සඳහන් හේතු නිසාය.

  • සේවක අර්ථසාධක අරමුදල ලැබීම යටතේ රැකියා විරහිතභාවය තහවුරු කිරීමට අසමත් වූ අයදුම්කරුවන් එම කරුණු තහවුරු කිරීමේදී ප්‍රමාද වීම.
  • උපාධි සහතිකය නියමිත දිනට නොලැබීම හේතුවෙන් නැවතත් එම ලේඛන ඉදිරිපත් කිරීමේ ප්‍රමාදය
  • ප්‍රාදේශීය ලේකම්/ ග්‍රාම නිලධාරී විසින් අදාළ තහවුරු කිරීම් සිදුකර නොතිබීම
  • විශ්වවිද්‍යාල ප්‍රතිඥහ කොමිෂන් සභාවේ වලංගු සහතිකය නිසි වේලාවට ඉදිරිපත් කිරීමට නොහැකි වීම
  • විදෙස්ගතව සිටීම හේතුවෙන් අයදුම් කිරීමට අභියාචනා කිරීමට නොහැකි වූ ඇතැම් අයදුම්කරුවන්ද වීම.
  • විවිධ සෞඛ්‍ය හේතුන් සහ දුෂ්කරතා හේතුවෙන් උපාධි පත්වීම් භාර නොගත් මියදුම්කරුවන් ද සිටීම
  • උපාධිය මට්ටමේ නොවන රජයේ රැකියාවල නිරත වීම නිසා රැකියා විරහිතභාවය නියමිත දිනට තහවුරු කිරීමේ දී ප්‍රමාදයක් සිදු වූ අයදුම්කරුවන් වීම

ඉහත අයදුම්කරුවන් නියමිත දිනට සිය සුදුසුකම් සනාථ කිරීමට සමත් වූයේ නම් ඔවුන්ට පත්වීම් නොලැබී යාමට ඉඩක් නොමැති බව සඳහන් කළ හැකි ය. උක්ත නිලධාරී අනුකමිටුව විසින් මෙම කරුණට අදාළව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලබන කරුණු අනුව මේ සම්බන්ධ තීරණයකට එළඹීමට නියමිත ය.

02. දෙවන ප්‍රශ්නය - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට අදාළව, 2019/20 කළමනාකරණ සේවා තරඟ විභාගයක් පවත්වා පුරප්පාඩු 2300ක් සඳහා 690 දෙනෙකු තෝරා ගැණුනා. 2022. 03.28 ඊට අනුමැතිය ලැබුණා. 2022.04.26 රාජ්‍ය පරිපාලන 03/2022 චික්‍රලේඛය යටතේ මෙම බඳවා ගැනීමි නකර කර ඇත. මෙම පිරිස බඳවා ගත්තද රජයට විශාල පිරිවැයක් දැරීමට සිදු වන්නේ නැත. ඇතැම් විට පිරිවැය අඩුවන අවස්ථාද ඇත. මෙම නිසා මෙම 2300 සඳහා සුදුසුකම් ලැබූ 690 වහාම බඳවා ගන්නයි ඉල්ලමි. එමෙන්ම මීට පෙර පූර්වාදර්ශය අනුව ඉතිරි ලකුණු තියෙන අයගෙන් අනෙකුත් පුරප්පාඩු පිරවීම සිදුවුණා. එවැනි අය 780ක් සිටිති. ඒ අනුව ප්‍රසිද්ධියට පත් කර ඇති මෙම 1470 නාම ලේඛනයෙන් (690+780) මුලිකව තේරුණු 690 ක් ඉතිරි 780 ක්, පුරප්පාඩු සඳහා බඳවා ගන්නා ලෙස ඉල්ලමි. පුරප්පාඩු 2300ක් ඇත.

පිළිතුර - 2019/20 කළමනාකරණ සේවා සීමිත තරග විභාගයේ ප්‍රතිඵල මත 690 දෙනෙකු බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවී ඇති අතර එය භාණ්ඩාගාරයේ එකඟතාවට ඉදිරිපත් කර තිබුණි. මේ වන විට ඊට අදාළව උක්ත නිලධාරි කමිටුවේ අවධානය යොමු වී ඇත.

මෙම බඳවා ගැනීම මගින් පිරවීමට අපේක්ෂිත 2019.12.31 දිනට පවත්නා කළමනා කරණ සේවා නිලධාරි සේවයේ පුරප්පාඩු 2300 සැදුම්ලත් වන්නේ විවෘත කරග විභාගයෙන් බඳවා ගැනීමට අපේක්ෂිත නිලධාරීන් 1610කින් සහ සීමිත තරග විභාගයේ ප්‍රතිඵලය මත බඳවා ගන්නා නිලධාරින් 690 දෙනාගෙනි. එබැවින් 690 දෙනා බඳවා ගැනීම සම්බන්ධ තීරණයකට එළඹීමේ දී විවෘත බඳවා ගැනීම සඳහා වන කෝටාව සම්බන්ධව ද සැලකිල්ලට ගත යුතුය. දැනට පවතින පුරප්පාඩු ගණනට සමානුපාතිකව 690ට වඩා නිලධාරීන් බඳවා ගැනීමට හැකි වන්නේ ද යන්න පිළිබඳව ද මේ වන විට කමිටුවේ අවධානයට ලක්ව ඇත.

03. තුන්වන ප්‍රශ්නය - සහපාලන ආණ්ඩු කාලයේ ව්‍යාපෘති සහයකයින් ලෙස 7500ක් බඳවා ගැනුණි. එයින් 6547 කට පත්වීම් ලිපි ලබා දුන්නේය. එහෙත් වර්තමාන ආණ්ඩුව පැමිණි හැටියේ ඒ සියල්ල නතර කළේය. පළමුව මැතිවරණ කාලයේ පත්වීම් ලබා දිය නොහැකි බව පැවසූ අතර පසුව එය නතර විය. යහපාලන ආණ්ඩු සමයේ අග්‍රාමාත්‍යවරයා, වර්තමාන ජනාධිපතිවරයා වන නිසා මෙම 6547ක යලි පත්වීම් දෙන ලෙස ඉල්ලමි. එම පත්වීම් ලබා දෙන්නේ කවදා ද? වර්තමාන ජනාධිපතිවරයාට මෙය මඟ හැරිය නොහැක.

පිළිතුර - මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබා දිය හැකි වන්නේ මෙම පිරිස බඳවා ගැනීමේ පසුබිම සම්බන්ධව වැඩිදුර අධ්‍යයනයකින් පසුව බව සැලකුව මැනවි.

(රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන්)