හිඟ මුල් නොගෙව්ව දේශපාලනඥයාගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට ගිය සේවකයාට පහරදීලා

හිඟ මුල් නොගෙව්ව දේශපාලනඥයාගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට ගිය සේවකයාට පහරදීලා

දේශපාලනඥයෙක් හිඟ මුදල් නොගෙවීම මත විදුලිය විසන්ධි කිරීමට ගිය ලංවිම සේවකයින්ට පහර දී රාජකාරියට බාධා කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර පහර කෑමට ලක්වූ සේවකයාට සාධාරණයක් ඉටුකරන ලෙසත් එසේ නොවන්නේ නම්, එයට එරෙහිව දැඩි වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ග ගැනීමට සූදානම් බව ලංවීම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, යහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකුගේ නිවසේ 2022 නොවැම්බර් මස 23 දින විදුලි විසන්ධි කිරීම් රාජකාරි සිදු කළ ලංවිම සේවක කණ්ඩායම විසින් රු. 105,117. 00 ක හිඟ මුදලක් නොගෙවීම මත විදුලිය විසන්ධි කිරීම සඳහා අදාල පුද්ගලයාගේ පරිශ්‍රයට ඇතුලත් වී ඇත. ලංවිම විදුලි මනුව දක්වා පරිශ්‍රයට ඇතුළු වීමට මෙම ආයතනයේ සේවකයින්ට නෛතික බලයක් ඇති අතර ඒ සඳහා කිසිදු පූර්ව අනුමැතියක් අවශ්‍ය නොවේ. එවසේ ඇතුළු වූ ලංවිම සේවක කණ්ඩායම සිය රාජකාරිය පිළිබඳව එම හිටපු අමාත්‍යවරයා දැනුවත් කර ඇත. එහිදී ඔවුන් විසින් රටේ ආර්ථික අර්බුධය සමග රතු නිවේදන ලබාදීම නවත්වා ඇති බවත් හිටපු අමාත්‍යවරයාට සිය විදුලි ගිණුම ලංකා විදුලිබල මණ්ඩලයට ලියාපදිංචි කර ඇති ජංගම දුරකථන අංකයට හිඟ මුදල් නොගෙවීම මත විදුලිය විසන්ධි කිරීමකට ලක්වීමට හැකි බවට වන අවවාදාත්මක දැනුම් දීම 2022 නොවැම්ර් මස 17 දින පෙ.ව. 7.15 ට කෙටි පණිවිඩයක් ලෙසට ලබා දී ඇති බවත් පැහැදිලි කර ඇත.

මෙහිදී මෙම පුද්ගලයා අතිශය ආවේගාත්මකව හැසිරෙමින් රාජකාරී සඳහා ගිය ලංවිම සේවකයින්ට බැන වැදීමට සහ තර්ජනය කිරීමට කටයුතු කර ඇත. ඔහු විසින් දිගින් දිගටම ප්‍රකාශ කර ඇත්තේ සියලූම හිඟ මුදල් මාර්ගගත ක්‍රමයට ගෙවා අවසන් කර ඇති බවයි. නමුත් ඔහු නොදැන සිටි කරුණ නම් ඔහුගේ ගිණුමට අදාල ගෙවීම් වාර්තා පිළිබඳව එම මොහොතේම පරික්ෂා කර බැලීමට ලංවිම සේවකයින් සතුව තාක්ෂණය තිබූ බවයි. එසේ පරික්ෂා කර බැලීමේදී ඔහු විසින් අවසාන වරට පද්ධතියට පිළිගත් ගෙවීමක් පිලිබඳව වාර්තා වී ඇත්තේ 2022 සැප්තැම්බර් මස 22 දින රු. 262,000.00ක මුදලක් බව අනාවරණය කරගත් ලංවිම සේවකයින් ඒ පිළිබඳව අදාල පුද්ගලයා දැනුවත් කර ඇත.

නමුත් එම කරුණු දැක්වීම පිළිනොගත් ඔහු දිගින් දිගටම ලංවිම සේවකයින්ගේ රාජකාරි වලට බාධා කරමින් තමන් ගෙවීම් කළ බවට සාක්ෂි ලෙස බිල්පතක් පවා ඉදිරිපත් කළ හැකි බවට පවසමින් එලෙස ලේඛනයක් ඉදිරිපත් කර ඇත. එසේ ඉදිරිපත් කර තිබුණේ ලංවිම විසින් ඔහුට ලබාදුන් විදුලි බිලේ ගෙවීම් කළ බවට ඔහු විසින්ම පෑනකින් ගෙවීම් කළා යැයි ලියා තැබූ සටහනකි. එවැනි ලියවිල්ලක ගෙවීම් සහතික කිරීමට නෛතික වලංගුභාවයක් නොමැති බවට පැහැදිලි කළ ලංවිම සේවකයින් තමන්ට පැවරුණු රාජකාරිය වන විදුලි විසන්ධි කිරීම සිදුකිරීමට උත්සාහ කර ඇත. මෙහිදී හිටපු අමාත්‍යවරයා වියරු වැටුණු ස්වභාවයෙන් එක් සේවකයෙකුගේ බෙල්ලෙන් අල්ලා ඉවතට තල්ලූ කරමින් ඔවුන් සිය පරිශ්‍රයෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත. මෙහිදී සිය ආරක්ෂාව වෙනුවෙන් අදාල සේවකයින් තමන්ට වූ පහරදීමට පවා ප්‍රතිචාර නොදක්වා සාමකාමීව එම පරිශයෙන් ඉවත් වී ඇති අතර අනතුරුව පහර කෑමට ලක්වූ තාක්ෂණික සේවකයා විසින් කුරුඳුවත්ත පොලිසියට තමන්ට පහර දී රාජකාරියට බාධා කිරීම පිළිබඳව පැමිණිල්ලක් යොමු කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය සමස්ත වියදමෙන් 85% විදුලි බලය ජනනය කිරීමට යෙදවෙන අතර සමස්ත සේවකයින්ගේම පඩි නඩි දීමනා සඳහා වෙන් වන්නේ 10% කටත් අඩු මුදලකි. මේ වනවිට මෙම ආයතනය රුපියල් බිලියන 250 කට වඩා පාඩු ලබන තත්වයකට ඇද වැටී ඇත. එයට හේතුව මෙම පුද්ගලයා ද ඇතුළුව මෙරට පාලනය කළ දේශපාලකයින් නිසි තීන්දු තීරණ නොගැනීමෙන් සහ වෘත්තිකයින්ගේ උපදෙස් නොසලකා හැරීමෙන් මෙරටට අහිමි වූ අඩු වියදම් බලාගාරවලින් අහිමි වූ ධනයයි. 2016 වසරේ සාම්පූර් බලාගාරය යහපාලන රජයෙන් නැවැත්වීම නිසා වසරකට මෙරටට අහිමි වන ධනය ඇමෙරිකානු ඩොලර් බිලියනයකි. මෙවැනි අඥාන තීන්දු තීරණවල ප්‍රතිවිපාක රටේ ජනතාවගේ පිට පැටවෙන විට ලංවිම සේවකයින් දෙසට අත දිගුකරමින් සිය සායම රැක ගැනීමට දේශපාලනික වගකිවයුත්තන් දරන උත්සාහය අප මේ වනවිට දැක ඇත. රටේ ජනතාව නොමඟ යවමින් මේ ගෙනයන නාටකයට තිත තැබීමට අප වෘත්තීය සමිති සන්ධානය සියලූ පෙරමුණුවලින්ම සූදානම් ය. ලංකා විදුලිබල මණ්ඩලයට අයවිය යුතු හිඟ මුදල්වලින් මිලියන සිය ගණනක් ගෙවීමට ඇත්තේ මෙරට ප‍්‍රසිද්ධ දේශපාලකයින් හට හෝ ඔවුන්ගේ සුවච කීකරු ගෝලබාලයන්ට සහ ඔවුන්ට සම්මාදම් දෙන ව්‍යාපාරිකයින් හටය. මේ හිඟ මුදල් අය කරගැනීමට උත්සාහ කරන ලංවිම නිලධාරීන්ට එන තාඩන පීඩන සහ බලපෑම් එල්ල කර ඔවුන් පෙලා දමා ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීමට මේ බලපුළුවන්කාරයින් උත්සාහ ගත්තේ අද ඊයේ නොවේ.

නමුත් ලංකා විදුලිබල මණ්ඩලය තුළ ඉහළ සිට පහළට යනතුරු සියලූම සේවකයින් නිසි පරිදි සිය රාජකාරියේ යෙදී ඇති අතර තමන්ට එන දේශපාලනික හෝ වෙනත් බලපෑම් මත සිය කටයුතු අතහැර දැමීමට ඔවුන් සූදානම් නොමැති බව අප අවධාරණය කරන්නෙමු. නීතියේ හිඩැස් තුළින් රිංගමින්, වගකීම මගහරිමින්, නොයෙක් කූටෝපායන් මගින් සිය හිඟ මුදල නොගෙවා ඉන්නට මොවුන් දරන උත්සාහයට අභියෝග කිරීමට ලංවිම සේවකයින් සෑමවිටම සූදානම්ව සිටින අතර සාමාන්‍ය පාරිභෝගිකයාගේ සුළු හිඟ මුදලකට විදුලි සැපයුම විසන්ධි කළත් ඉහළ පැලැන්තියේ ප්‍රභූවරුන්ගෙ ලක්ෂ ගණන් හිඟ මුදල් නොසලකා හරිමින් ලංවිම කටයුතු කරන බවට ජනතාව නගන චෝදනාවට මෙම සිදුවීම හොඳම පිළිතුරක් බව අප විශ්වාස කරන්නෙමු.

දැන් එළඹ ඇත්තේ නීතියේ සාධාරණාත්වය පරික්ෂා කෙරෙන මොහොතයි. මෙම පුද්ගලයා රජයෙ නිලධාරීන් කණඩායමකට රාජකාරිය කිරීමට බාධා කර පහර දී අඩන්තේට්ටම් සිදුකර ඇත. එයට විරුද්ධව කටයුතු කිරීම සඳහා නීතිය සුරකින ආයතන දැනුවත් කර ඇත. තත්වය එසේ තිබියදීත් ඔහුගේ නිවසේ 2022 නොවැම්බර් මස 25 දින වනවිට මුළු හිඟ මුදල රු. 202,425.93 කි. තමන්ගේ ප්‍රභූභාවය මත තමන්ට රටේ නීතියෙන් මුක්තිය ලැබෙන බවට සිතා ඔහු තවදුරටත් කටයුතු කරන බව අපට තහවුරු වී ඇත. මෙම පුද්ගලයාගේ මේ අත්තනෝමතික හැසිරීම හෙට දිනයේ තවත් මෙවැනි පුද්ගලයින් සිය ගණනක් බිහි කරනු ඇත. අවසානයේ ඔවුන්ගේ කෝටි ගණන් හිඟ මුදල්වලට කර ගැසීමට වනුයේ වේලක් පිරිමහ ගැනීමට, පාසල් යන දරුවාට පොතක් අරන් දීමට නොවිඳිනා දුක් විඳින රටේ ජනතාවට ය. එසේ වීමට ඉඩ දී නිහඬව බලා සිටීමට අප සූදානම් නැත.

නීතියේ හස්තය මෙම පුද්ගලයාට එරෙහිව ක්‍රියාත්මක වී පහර කෑමට ලක්වූ සේවකයාට සාධාරණයක් ඉටු වන්නේ නැති නම් එයට එරෙහිව දැඩි වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ග ගැනීමට අප සූදානම් බවට අවසාන වශයෙන් අවධාරණය කරන අතර මේ අරගලය හුදෙක් ආයතනයට සීමා වූවක් නොව සමස්ත රටේ ජනතාවගේම සමාජ සාධාරණත්වය වෙනුවෙන් කරන්නක් බවට ජනතාවට බුද්ධිමත්ව තේරුම් ගනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.