මේ වසරේ දී එච්.අයි.වී ආසාදිතයින්ගේ වැඩිවීමක්

මේ වසරේ දී එච්.අයි.වී ආසාදිතයින්ගේ වැඩිවීමක්
  • දැනුවත් වීමට, ප්‍රතිකාර ලබා ගැනීමට දිවයින පුරා රජයේ රෝහල් වල සායන 42 ක්...

ලෝක ඒඩ්ස් දිනය දෙසැ. (01) දිනට යෙදී තිබු අතර ඒ සදහා පැවැත්වු ජාතික සැමරුම් උත්සවය බත්තමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණි. සෞඛ්‍ය අමාත්‍යංශය හා ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය මගින් මෙය සංවිධානය කර තිබිණි. සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විය.

මෙවර 2022 ලෝක ඒඩ්ස් දින තේමා පාඨය වුයේ “සමානාත්මතාවය සුරකිමු” යන්නයි. එච්.අයි.වී ආසාධිතයන් සහ ඒ ආශ්‍රිත අනෙකුත් අධි අවදානම් ඔ්නෑම කණ්ඩායකට සමානව සලකමු, ඔවුන්ගේ සමානාත්මතාවය සුරකිමු, රටක ජීවත් වන පුද්ගලයින් හට රජයෙන් ලබන්නාවු සියලුම ප්‍රතිලාභ සහ සියලුම අවශ්‍යතා ඔවුන්ටද ලැබිය යුතු යන්න මින් අදහස් වේ.

පසුගිය වසරට සාපේක්ෂව මේ වර්ෂයේ දී එච්.අයි.වී ආසාදිතයින් වාර්තා වීම පැහැදිලි ලෙස වැඩි වීමක් පෙන්වා ඇති බවත් පසුගිය වසරේ ආසාදිතයින් 411 ක් වාර්තා වු අතර මේ වර්ෂයේ දී පසුගිය මාස 09 ක කාලය තුළ ආසාදිතයින් 429 ක් වාර්තා වී ඇත. එම 429 න් 148 ක් අවුරුදු 15 – 30 අතර වයස් කාණ්ඩයේ තරුණ පිරිස වන අතර එයින් 08 ක් කාන්තාවන් වන අතර ඉතිරි 140 පිරිමි පුද්ගලයන් බව මෙහිදි අවධාරණය විය.

එක්සත් ජාතින්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක වලට අනුකුලව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩසටහන , සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව  2030 වසර වන විට ඒඩ්ස් අවසන් කිරීමට ප්‍රකාශ කර ඇති බවත් එම ඉලක්ක සපුරා ගැනීමට එච්.අයි.වී සමග ජීවත් වන පුද්ගලයන් 95% ක් හදුනාගෙන ඔවුන්ගෙන් 95% කට ප්‍රතිකාර ආරම්භ කල යුතු බවද එම වැඩසටහන පෙන්වා දෙයි.

නොමිලේ ප්‍රතිකාර ලබාදීමට හා උපදේශන සේවාවන් සදහා ලිංගාශ්‍රිත රෝග සායන 42 ක් දිවයින පුරා රෝහල් වල ක්‍රියාත්මක වන අතර ඉන් සායන 30 ක් එච්.අයි.වී සදහා වෙන් කර ඇති බවද, විනාඩි 20 ක කාලයක් තුලදී එච්.අයි.වී ප්‍රතිඵල ලබා ගත හැකි ක්ෂණික පරීක්ෂණ හෙවත් රැපිඩ් පරීක්ෂණ සිදුකර ගත හැකි ස්වයං පරීක්ෂණ සදහා අවශ්‍ය උපකරණ නොමිලේ ලබාගත හැකි බවත් අවශ්‍ය අයෙකුට  ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය ඇමතීමෙන් හෝ ඔන්ලයින් මාර්ගයෙන් ද අදාල උපකරණ ඇණවුම් කිරීමට හැකියාව පවතින බවද එම ඒකකය සදහන් කරයි.

ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව දිවයින පුරා බන්ධනාගාර වල සිටින රුදවියන් සහභාගී කරවා ගෙන ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය විසින් පෝස්ටර් චිත්‍ර තරගයක් පැවැත්වු අතර එහි ප්‍රථම හා දෙවන ස්ථාන දිනාගනු ලැබුවේ පල්ලේකැලේ එළිමහන් සිරි කදවුරේ රැදවියන්ය. තෙවන ස්ථානය කොළඹ මැගසින් බන්ධනාගාරයේ රැදවියාට හිමිවු අතර ඔවුන්ට හිමි සහතික හා ත්‍යාග මෙහිදී පිරිනමන ලදී. මේ සදහා පෝස්ටර් චිත්‍ර 300 කට අධික ප්‍රමාණයක් ලැබී තිබිණි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ වැ.බ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශෙෂඥ වෛද්‍ය හේමන්ත හේරත්, පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා, ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි, එක්සත් ජාතින්ගේ ජනගහණ අරමුදලේ වැඩබලන නේවාසික නියෝජිත මදුෂා දිසානායක,  ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ (පුහුණු) රසික දෙලපොල, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනි සුජාතා අලහපෙරුම යන මහත්ම මහත්මීන් ඇතුළුව දිවයිනපුරා ලිංගාශ්‍රිත රෝග සායන නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් පිරිසක් සහභාගී වුහ.