සෞඛ්‍ය සේවය කළමනාකරණය කරගත නොහැකි වුවහොත් රටේ බරපතල තත්ත්වයක් ඇති වේවි

සෞඛ්‍ය සේවය කළමනාකරණය කරගත නොහැකි වුවහොත් රටේ බරපතල තත්ත්වයක් ඇති වේවි

සම්පත් හිඟය නිසා සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම දැඩි අර්බුදකාරී තත්වයක හා රෝගී ජීවිතවලට මෙන්ම රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති වී තිබෙන තත්ත්වයක් තුළ ආණ්ඩුව ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු කිරීමට මේ දක්වා අපොහොසත් වී ඇතත්, ඉතා ඉක්මනින් මේ තත්වය කළමණාකරණය කිරීම සඳහා අත්‍යවශ්‍ය පියවරයන් නොගතහොත් බරපතල කඩාවැටීමකට ලක්වී ඇති සෞඛ්‍ය සේවාව තව දුරටත් පවත්වාගැනීම දුෂ්කර වනු ඇති බවට සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, සෞඛ්‍ය සේවාව යහපත් මට්ටමකින් පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් අමුදල්, අත්‍යවශ්‍ය සම්පත් (මානව සහ භෞතික සම්පත්) සහ නිසි නායකත්වයක් අත්‍යවශ්‍ය වේ. ආණ්ඩුව මගින් වාර්ෂිකව සෞඛ්‍ය සඳහා වෙන්කරනු ලබන මුදල් ප්‍රමාණය දෙගුණයක්වත් කළහොත් සෞඛ්‍ය සේවා ප්‍රශස්ත මට්ටමකින් පවත්වාගෙන යා හැකි වනු ඇත.

සෞඛ්‍ය සේවාව තුල උග්‍ර මානව සම්පත් හිඟයක් ඇත. වෛද්‍ය, හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය, කණිෂ්ඨ කාර්ය මණ්ඩලවල විශාල හිඟයක් ඇත. එම නිසා අඩු කාර්ය මණ්ඩල ප්‍රමාණයකින් සේවාව පවත්වාගෙන යාම සඳහා කාර්යමණ්ඩලවලට දැඩි දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුව ඇත. රාජ්‍ය සේවාව සඳහා නව බඳවාගැනීම අත්හිටුවීම සහ විශාල පිරිසක් වෘත්තිය අතහැර විදේශගත වීම නිසා මෙම තත්වය තවදුරටත් වර්ධනය වී ඇත. මෙම තත්වය සෞඛ්‍ය සේවාව කඩාවැටීමකට ප්‍රධාන හේතුවක් වී ඇත.

ඖෂධ, වෛද්‍ය උපකරණ සහ රසායනික ප්‍රතික්‍රියක වල උග්‍ර හිඟය නිසා රෝග විනිශ්චය කිරීම ප්‍රමාදවීම හෝ නොහැකිවීම, ප්‍රතිකාර ප්‍රමාදවීම, ප්‍රතිකාර නොලැබීයාම රෝගීන්ට විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කිරීමට සිදුවීම ආදී කාරණා නිසා බොහෝ රෝගීන්ට අත්‍යවශ්‍ය ප්‍රතිකාර නොලැබීයාමේ දැඩි අනතුරුදායක තත්වයක් උද්ගත වී ඇත.

එහි ප්‍රතිඵල ලෙස රෝග තත්වයන් උත්සන්න වීම, මරණ සංඛ්‍යාව වැඩිවීම, රෝගීන්ට වැඩි කාලයක් රෝහල්ගතවී සිටීමට සිදුවීම ආදිය නිසා රෝගීන්ට සහ ඔවුන්ගේ පවුලවල අයට බරපතල ආර්ථික ගැටලූවලට මෙන්ම තවත් සමාජීය ගැටලූ රාශියකට මුහුණපෑමට සිදුව ඇත.

මෙම තත්වය වෙනස් කිරීම සඳහා ආණ්ඩුව ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු කිරීමට මේ දක්වා අපොහොසත් වී ඇත. ඉතා ඉක්මනින් මේ තත්වය කළමණාකරණය කිරීම සඳහා අත්‍යවශ්‍ය පියවරයන් නොගතහොත් බරපතල කඩාවැටීමකට ලක්වී ඇති සෞඛ්‍ය සේවාව තව දුරටත් පවත්වාගැනීම දුෂ්කර වනු ඇත. එමගින් රටේ ජන ජීවිතයට මෙන්ම ආර්ථිකයටද මරු පහරක් එල්ල වනු ඇත.