ආණ්ඩුව විසින් විද්වතුන්ගේ සහ වෘත්තිකයින්ගේ හඩට සවන් නොදෙමින්, ජනතාව මුහුණ දෙන පීඩනය නොසලකාහරිමින් එම බදු ක්‍රමවේදය පාර්ලිමේන්තුව හරහා අත්තනෝමතික ලෙසින් සම්මත කර ක්‍රියාත්මක කිරීමට පසුගිය සිකුරාදා දිනයේ දී රජය විසින් තීරණය කිරීම හා කෙටිකාලීන සුලු ප්‍රතිලාභයක් වෙනුවෙන් දීර්ඝ කාලීනව රටට අතිශයින් හානිකර තීරණයකට අත එසවූවන්ගේ භූමිකාව ඉතිහාසය විසින් තීරණය කරණු ඇති අතර ඒ සඳහා ඉදිරියේදී මෙම අසාධාරණ බදු සංශෝධන වලට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීරණවීමට මාධ්‍යම කාරක සභාව අවසර ලබාදුන් වන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදකාරී වාතාවරණයත්, ජීවන වියදම ඉහළ යාමත්, ආර්ථිකය සංකෝචනය වීමත් හරහා මෙරට සියලුම ස්ථර වල ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බව නොරහසකි.
යහපත් ජීවන තත්ත්වයක් මෙන්ම සුරක්ෂිත වෘත්තීය පරිසරයක් ළඟා කර ගැනීමට නොහැකි වීම නිසා මෙරට වෛද්‍යවරුන් ඇතුලු වෘත්තිකයින් සහ විද්වතුන් වේගයෙන් රට හැර යමින් සිටින්නේ අනාගත ශ්‍රී ලංකාව දැනුම් කාන්තාරයක් බවට පත් වීමේ පෙර නිමිති පළ කරමිනි.
මෙම පීඩාකාරී තත්ත්වය තව තවත් තීව්‍ර කරමින් මෙරට විද්වතුන් සහ වෘත්තිකයින් විශාල කැළඹීමකට හා පීඩනයකට ලක්කරමින් දේශීය ආදායම් පනතේ සංශෝධිත පනත් කෙටුම්පත අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට රජය විසින් කටයුතු කරන ලදී.
එම පනත් කෙටුම්පත හරහා හඳුන්වාදීමට නියමිත බදු ක්‍රමවේදයේ අතිශය අසාධාරණ ස්වරූපයත්, ඒ හරහා රටට ඇති විය හැකි සෘණාත්මක බලපෑමත් සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා සහ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පියවර ගත් අතර, වඩාත් සාධාරණ සහ ජනතාවට හිතකර බදු ප්‍රතිපත්තියක් වෙනුවෙන් අපගේ යෝජනාවන් ද ඔවුන්ට ලබා දෙන ලදී.
මෙරට සියලු වෘත්තිකයන්ගේ සහභාගිත්වයෙන් මෙම අසාධාරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් දැනුවත් කිරීමටත් විරෝධතාව පළ කිරීමටත් කටයුතු කරන ලදී.
එහෙත් විද්වතුන්ගේ සහ වෘත්තිකයින්ගේ හඩට සවන් නොදෙමින්, ජනතාව මුහුණ දෙන පීඩනය නොසලකාහරිමින් එම බදු ක්‍රමවේදය පාර්ලිමේන්තුව හරහා අත්තනෝමතික ලෙසින් සම්මත කර ක්‍රියාත්මක කිරීමට පසුගිය සිකුරාදා දිනයේ දී රජය විසින් තීරණය කරන ලදී. කෙටිකාලීන සුලු ප්‍රතිලාභයක් වෙනුවෙන් දීර්ඝ කාලීනව රටට අතිශයින් හානිකර තීරණයකට අත එසවූවන්ගේ භූමිකාව ඉතිහාසය විසින් තීරණය කරනු ඇත.
පවතින වාතාවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කර, මෙම අසාධාරණ බදු සංශෝධන වලට විරුද්ධව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විශේෂ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද දිනයේ දී පවත්වන ලදී.
එහිදී පහළ තීරණවලට එළඹෙන ලදී.
රාජ්‍ය පවත්වා ගැනීමට බදු ගෙවීම පුරවැසි වගකීමකි. එම වගකීම ඉටුකිරීමට මෙරට වෛද්‍යවරු මෙන්ම සියලුම වෘත්තිකයින් එකසේ සූදානම් බව යළි යළිත් තහවුරු කරන්නෙමු. එහෙත් පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ රටට අවශ්‍ය වන්නේ ජනතාවට හිතකර සාධාරණ බදු ක්‍රමවේදයකි.
පාලකයින් විසින් ඇති කරන ලද අර්බුදයේ අවසාන වින්දිතයින් බවට පත්ව ඇත්තේ ජනතාවයි. පාලකයින්ගේ වරප්‍රසාද නොවෙනස්ව තිබියදී, රටේ ජනතාව සහ වෘත්තිකයින් තව තවත් පීඩාවට පත් කරන, රටේ අනාගතය තවත් අර්බුදයක් කරා තල්ලු කරන අත්තනෝමතික බදු සංශෝධන ආපසු හැරවීම පිණිස සියලු පාර්ශවයන් එකතු කරගනිමින් අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසිසේත්ම පසුබට නොවන බව යලිත් අවධාරණය කරමු.
