මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා බිඳවැටීමේ අවදානමක්

මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා බිඳවැටීමේ අවදානමක්

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් බඳවා ගැනීම රජය තවදුරටත් ප්‍රමාද කරමින් සිටින බව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු පවසයි. පසුගිය කාලය පුරාම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් බඳවා ගැනීම සඳහා රජය විශාල මුදලක් වැය කළද එම බඳවා ගැනීම් මෙතෙක් සිදු නොකිරීම මුදල් විනාශ කිරීමක් බවද සභාපතිවරිය ප්‍රකාශ කළාය.

මේ වනවිට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දෙදහසකගේ පමණ හිඟයක් පවතින බවත් මේ හේතුවෙන් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා බිඳවැටීමේ අවදානමක් පවතින බවත් රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය අනතුරු අඟවා සිටියි. මෙම නිලධාරිනියන් තුන්දහසක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබුණද පසුගිය වසරේ සිට මේ දක්වා කාලය තුළ බඳවා ගෙන ඇත්තේ නිලධාරිනියන් දහසක් පමණි.

එසේම හැට සම්පූර්ණ කරනු ලබන පවුල් සෞඛ්‍ය සේවිකාවන් මෙන්ම අවුරුදු හැට එකේ සිට හැට හතර දක්වා වයස් කාණ්ඩවල පසුවන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විශාල පිරිසක් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී විශ්‍රාම ගොස් තිබේ. මෙසේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විශ්‍රාම ගැනීම නිසා මාතෘ සහ ළමා සෞඛ්‍ය සේවාවට බරපතළ වශයෙන් බලපෑම් එල්ල වී ඇත.

මෙම තත්ත්වය මත මාතෘ සහ ළමා සෞඛ්‍ය සේවා බිඳවැටීමක් ඇති වුවහොත් එය වළක්වා ගැනීමටද සෞඛ්‍ය අමාත්‍යංශයට කිසිදු සැලැස්මක් නොමැති බවද දේවිකා කොඩිතුවක්කු වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

(aruna)