- ඖෂධ හිඟය හා මන්දපෝෂණය ගැන කතා කළ වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම් කොට මාස හතරයි...
- චෝදනා පත්‍රයක් හො නිදහසට කරුණු විමසීමක් සිදු කිරීමට අමාත්‍යාංශය අපොහොසත්...
- ආයතන සංග්‍රහය ද උල්ලංඝනය කිරීමක්...
- වහා සේවයේ පිහිටු වන්න...
- රාජ්‍ය සේවා කොමිසන් සභාවට සහ මානව හිමිකම් කොමිසන් සභාවට නීතිඥවරුන්ගෙන් පෙත්සමක්...
හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්දපෝෂණ තත්ත්වය වැඩි වර්ධනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා ගෙ වැඩ තහනම් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කටයුතු කර ඇති අන්දම ආයතන සංග්‍රහය පවතින ක්‍රියා පටිපාටි වලට පවා එරෙහිව යාමක් බව පෙන්වා දෙමින් ඒ මහතාගේ නීතිඥයින් සහ අරගලයේ නීතිඥයින් යන වෘත්තීය හා සිවිල් සංවිධාන රාජ්‍ය සේවා කොමිසන් සභාවට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට ඊයේ දිනයේදීයි පැමිණිලි ඉදිරිපත් කරනු ලැබීය.
පසුගිය වර්ෂයේ නොවැම්බර් මස 03 දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කරමින් නිකුත් කළ ලිපියේ සඳහන් වූයේ ඒ මහතාගේ වැඩ තහනම් කිරීමට හේතුව මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් ඔහු හෙළි කළ කරුණු වලට අනුව රජයේ අසාර්ථක භාවය සහ නොහැකියාව හරහා සමාජය ඉදිරියේ රජය විවේචනයට ලක් වීමත් එමගින් රජය හා සෞඛ්‍ය අමාත්‍යාංශය අගතියට පත්වූ බවත් ය.
එහෙත් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අරගලේ නීතිඥයින් විසින් ලබා ගන්නා ලද තොරතුරු වලට අනුව වෛද්‍ය ජි ජි චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා රාජ්‍ය සේවා කොමිසන් සභාව වෙතත් මානව හිමිකම් කොමිසන් සභාව , අධිකරණය හා වෙතත් අනෙකුත් රාජ්‍ය හා පාර්ලිමේන්තුව වෙත යවන ලද ලිපි වල සඳහන් කරුණු හා ඒ මහතාගේ වැඩ තහනම් කිරීමෙන් ලිපියේ සඳහන් කරුණු අතර පරස්පර විරෝධතා පවතින බව මෙම පෙත්සම් මගින් අරගලයේ නීතිඥයන් මානව හිමිකම් කොමිෂන් සභාව සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට කරුණු දක්වා ඇත.
තවද වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනමත් සමඟ ඒ මහතාගේ වැටුප් නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කටයුතු කොට ඇතත් ඒ මහතාගේ වැටුප් නතර කිරීම සඳහා රාජ්‍ය සේවා කොමිසන් සභාවේන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අවසර ලබාගෙන නොමැති බව ද මෙම පෙත්සම් මඟින් පෙන්වා දී ඇත. වැඩ තහනම් කරන නිලධාරියෙකුගේ වැටුප් නතර කළ හැක්කේ ඔහු රාජ්‍ය විරෝධී ක්‍රියාවක හෝ බරපතළ මූල්‍ය වංචාවකට සම්බන්ධ අවස්ථාවකදී පමණක් වන අතර එසේ නොවන සෑම අවස්ථාවකදීම වැටුප් නතර කිරීමට පෙර රාජ්‍ය සේවා කොම්ෂන් සභාවේ අවසර ඉල්ලා සිටිය යුතු වන නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ආයතන සංග්‍රහය සඳහන් එම මූලික ක්‍රියා මාර්ග පවා අනුගමනය කොට නොමැති බව හෙළි වී ඇත.
මානව හිමිකම් කොමිෂන් සභාවට මෙම පෙත්සම් ඉදිරිපත් කළ නීතිඥ මනෝජ් නානායක්කාර සහ නීතිඥයන් අමිල මහඑගොඩවත්ත යන මහත්වරුන් පෙන්වා දෙනු ලබන්නේ වෛද්‍ය චමල් සංජය මහතාගේ වැඩ තහනම් කිරීමේ දී අතීතයටද බලපාන පරිදි කරුණු ඉදිරිපත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා දේශපාලන අවශ්‍යතාවයක් මත ඒ මහතාගෙන් පළිගැනීම සඳහා ද දේශපාලනික වශයෙන් ඒ මහතා සරණාගත තත්ත්වයට පත් කිරීම සඳහා ද මේ අන්දමට කටයුතු කර ඇති බවයි.
වෛද්‍ය චමල් සංජිව මහතාගේ වැඩ තහනම් කොට දැනට මාස හතරකට අධික කාලයක් ගතවන නමුත් මේ දක්වා ඒ මහතාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීමක් හෝ වැඩ තහනම් කිරීම පදනම් කොට චෝදනා පත්‍රයක් නිකුත් කොට නැත.
ආයතන සංග්‍රහයට අනුව යම් නිලධාරියෙකු වැඩ තහනම් කළ වහාම ඒ මහතාගෙන් නිදහසට කරුණු විමසා චෝදනා පත්‍රයක් ඉදිරිපත් කොට හැකි ඉක්මනින් විමර්ශනය අවසාන කළ යුතු වන නමුත් මහතාගේ වැඩ තහනම්
කොට මාස 4 ක් ගතවන තුරු මේ දක්වා කිසිදු විමර්ශනයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවද මෙම පෙත්සම් මගින් පෙන්වා දී ඇත. ඊට අමතරව සෞඛ්‍ය ලේකම්වරයා ඒ මහතාගේ පශ්චාත් අධ්‍යාපනය සඳහා පවතින අයිතියද නතර කොට ඇත. මෙය ඉතා බරපතළ තත්ත්වයක් බව අරගලයේ නීතිඥවරු මානව හිමිකම් කොමිෂන් සභාවට අවධාරණය කොට සිටිති.
දේශපාලන අවශ්‍යතාවයන් මත ඉහළ රාජ්‍ය නිලධාරීන් තමාගෙන් නොහැකියාව අසමත්කම සම්බන්ධව විවේචනය කරන පහළ රාජ්‍ය නිලධාරීන් මේ අන්දමින් දඩයම් කිරීම ඉතා නරක පූර්වාදර්ශයක් බවද අරගලයෙන් නීතිඥයෝ පෙන්වා දෙති.
වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් ඒ මහතා ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම රාජ්‍ය සේවා කොම්ෂන් සභාව හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ විරෝධතා ප්‍රතික්ෂේප කරමින් අඛණ්ඩවම විභාග කිරීමට පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ද තීරණය කරනු ලැබීය.