අයුක්ති සහගත වැටුප මත එකතු කළ බදු ඇතුළු සේවක පීඩනයන් පරාජය කරමු

අයුක්ති සහගත වැටුප මත එකතු කළ බදු ඇතුළු සේවක පීඩනයන් පරාජය කරමු

වත්මන් ආණ්ඩුව “ගහෙන් වැටුන මිනිසාට ගොනා ඇන්නා” සේ බඩුමිල 300%කින්, ප්‍රවාහන වියදම් 300%කින්, විදුලි බිල 500%කින්, වතුර බිල 300%කින් බැංකු ණය පොළී අනුපාතය 200%කින්, ඉන්ධන මිල 300%කින් වැඩිකර මාසික වැටුප් ලබන සේවකයාගේ වැටුප මත එකතුකල අයුක්ති සහගත බද්දක් ද අයකරමින් සිටිති.

රට විනාශය කරා ගෙන ගිය, පසුගිය වසර ගණනාවක සිට රට පාලනය කළ මහ බැංකුව ඇතුළු සමස්ත රටම කොල්ලකෑ දුෂිතයින් විසින්ම අර්බුදයට විසඳුම් ඉදිරිපත් කිරීමට ඉදිරිපත්ව ඇත. කූට ව්‍යාපාරිකයින් විසින් නොගෙවා වසන් කරන බදු අයකර ගැනීමට රනිල් රාජපක්ෂ රජයට වැඩපිළිවෙලක් නැත. දේශපාලකයින් විසින් මහජනතාවගෙන් සොරාගත් විදේශීය බැංකුවල ඇති ඩොලර් රටට ගෙන්වා ගැනීමට රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කිසිදු වැඩ පිළිවෙලක් නැත. එහෙත් ආර්ථික පීඩනයේ ගොදුරු බවට පත්ව ඇති වැඩකරන සේවකයාගේ වැටුප බලහත්කාරයෙන් උදුරාගෙන, මැති ඇමති රොත්තක් නඩත්තු කිරීමට තරම් රනිල් රාජපක්ෂ පාලනය නිර්ලජ්ජිත තත්වයට පත්ව ඇත.

වෘත්තිකයින් සාධාරණ ලෙස බදුගෙවීමට එකඟය. එහෙත් මිලියන, බිලියන ගණනින්, උපයන ව්‍යාපාරිකයන්ගෙන් කොමිස් හා සන්තෝසම් පමණක් ලබාගෙන බදු අයකර නොගෙන මාසික වැටුප් ලබන සේවකයින් පීඩනයෙන් පීඩනයට පත්කිරීමට කිසිසේත් ඉඩදියයුතු නැත. රාජ්‍ය ආයතන වලින්ද අධික හා අසාධාරණ බදු අයකිරීම් හේතුවෙන් මේවන විට සේවක ප්‍රසාද දීමනා කප්පදුවීම්, සේවක අතිකාල කප්පාදුවීම් ආපදා ණය සහන කප්පාදුවීම් දක්වා විහිදී යමින් ඇත. හෙට දවස වන විට මේ අඥාන විකට පාලකයින්ගේ ක්‍රියාකලාපය නිසා සේවක දීමනාද කප්පාදු නොවනවා ඇතැයි කාටනම් කිව හැකිද?

2023. 03. 01 දින සිදුකරන කළු විරෝධතා හා වර්ජන වලින්ද බදු ගැටළුවට විසඳුම් නොලැබේ නම් එළැඹෙන 08 දින සිට ඉහත ආයතන වල සියලු සේවකයින් එක්ව ගෙනයන අඛණ්ඩ වැඩවර්ජනය මඟින් වික්‍රමසිංහ රාජපක්ෂ අසාධාරණ වැටුප මත එක්කල බද්ද උඩු යටිකුරු කිරීමට සමස්ත සේවකයින් සමඟ අත්වැල් බැඳ ගැනීමට ටෙලිකොම් සේවක අපිද එක්වෙමු.

අසාධාරණ වැටුප මත එකතු කළ බදු පරාජය කරමු !

ටෙලිකොම් ආයතනයේ කොටස් විකිණීමට එරෙහිව දිවිහිමියෙන් සටන් වදිමු !

සියලු මහජන පීඩනයන්ට එරෙහි වෙමු !

(සියලු ටෙලිකොම් වෘත්තීය සමිති විසින් බෙදාහරින ලද පත්‍රිකාවකි)