මහජන පීඩාව නොසලකා හරින පාලනයට එරෙහි වෘත්තීය සමිති ඒකාබද්ධ අරගලය

මහජන පීඩාව නොසලකා හරින පාලනයට එරෙහි වෘත්තීය සමිති ඒකාබද්ධ අරගලය

රජයේ පාලන ක්‍රමවේදය දිගින් දිගටම මහජනතාවගේ ඉල්ලීම් නොසලකා හරින, උද්දච්ඡ ස්වරූපයකට පත්ව තිබේ. මහජන ඡන්දයකින් බලයට පත් නොවූ ජනාධිපතිවරයෙකුට, මහජනතාවගේ කැමැත්ත දිනා ගනිමින් රට මෙහෙයවීමේ බරපතල වගකීමක් ඇති නමුත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය ඊට හාත්පස වෙනස්, ඡන්දය නොදුන් මහජනතාවගෙන් පළිගන්නා ස්වරූපයකට පත්ව තිබේ.

රට අසීරු අඩියකට පත්ව ඇති අවස්ථාවක, වැඩකරන ශ්‍රම බලකාය උද්දීපනය කරමින් අවශ්‍ය ප්‍රතිසංස්කරණ වලට යෑම සහ කැපවීම් ලබා ගැනීම, මේ මොහොතේ දූර දක්නා නායකයෙකු විසින් අනිවාර්යෙන්ම අනුගමනය කල යුතු නායකත්ව ලක්ෂණයක් වන නමුත්, ඉතිහාසයේ කිසිදු ජනාධිපතිවරයෙකු නොකල අන්දමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, වෘත්තීය සමිති මර්ධනය සඳහාම ජනතා බදු මුදලෙන් කාර්‍යාලයක් සහ අධ්‍යක්ෂ තනතුරු නඩත්තු කරමින් සිටීම මගින් වෘත්තීය සමිති වැඩ වර්ජන සදහා අනවශ්‍ය ලෙස උත්ප්‍රේරණය කර තිබේ.

කෙසේ නමුත් දැනටමත් අරගල කිහිපයක නියැලී සිටින රටේ ප්‍රධානතම වෘත්තීය සමිති මධ්‍යස්ථාන වන වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය, වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සංධානය සහ රාජ්‍ය හා අර්ධරාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව ලබන 15දා සිට ඒකාබද්ධ සංකේත වර්ජනයක් සිදු කිරීමටත්, ඉන් අනතුරුව ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් සඳහා එක්ව සහ වෙන් වෙන් වශයෙන් අඛණඩ අරගලයක් දියත් කිරීමටත් ඒකමතිකව තීරණය කරන ලදී.

ඒ අනූව 15දා සංඛේත වර්ජනය "ජන පීඩාවට එරෙහි වැඩකරන ජනතාවගේ විරෝධය" යන තේමාව යටතේ පොදු අරගලයක් ලෙස දියත් කිරීමට අපේක්ෂා කරන අතර, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඊට ආදලව පහත ඉල්ලීම් වහා ලබා දෙන ලෙස රජයට බල කර සිටී.

  • ලබාගත් ණය සඳහා බැංකු පොලී අනුපතය වැඩිකල නියෝගය හකුලා ගැනීම
  • දැරිය නොහැකි විදුලි ගාස්තු වැඩි කිරීම අත් හිටුවා ගාස්තු සඳහා සාධාරණ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම
  • රු. 20000/-ක ජීවන වියදම් දීමනාවක් ලබා දීම
  • අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුව ඉවත් කර ගැනීම සහ ජනධිපති ලේකම් කාර්‍යාලය සහ වෘත්තීය සමිති අධ්‍යක්ෂක වරයා හරහා වෘත්තීය සමිති මර්ධනය සඳහා සිදු කරන අනවශ්‍ය අත පෙවීම් හකුලා ගැනීම

මීට අමතරව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් සිය වර්ජනය සඳහා 'උපයනවිට බදු ගැසීමේ අමානුෂික බදු ප්‍රතිපත්තිය' සංශෝධනය කරන ලෙසද බල කර සිටී.

රවී කුමුදේශ් කැදවුම්කරු

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති මධ්‍යස්ථානය

වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය