ජන පීඩක බදු ප්‍රතිපත්තියට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය
පසුගිය සිකුරාදා දින පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂ හදිසි මධ්‍යම කාරක සභාවේදි තීරණය කළ පරිදි රජයේ ජන පීඩක බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පසුගිය සදුදා දින සිට ආරම්භ විය. ඒ අනුව සඳුදා දින දිවයිනේ පළාත් 4කත්, අඟහරුවාදා එනම්, ඊයේ දිනයේදී සෙසු පලාත් 5 ත් ක්‍රියාත්මක වූ වෛද්‍ය වැඩවර්ජනය අද දින උදෑසන 8.00 සිට දිවයිනේ පළාත් 9 ම ආවරණය වන දීප ව්‍යාප්ත වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් දක්වා තීව්‍ර කිරීමට සිදු විය.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කිසිසේත්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තේරීම නොවුණු අතර මාස ගණනාවක් තිස්සේ අප විසින් සිදු කළ සාධාරණ කරුණු දැක්වීම් හමුවේ මුනිවත රැකි අසංවේදී පාලකයන් වැඩවර්ජන ක්‍රියාමාර්ග කරා වෘත්තීය සමිති ව්‍යාපාරය යොමු කල බව පැහැදිලිය.
කෙසේ නමුත් අප සංගමය ඇතුලු සමස්ත රටෙහි ක්ෂේත්‍ර ගණනාවකට අයත් සියගණනක් වූ වෘත්තිය සමිති විසින් මේ මොහොතේ දියත් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හරහා පාලකයින්ට යම් පණිවිඩයක් ලැබී ඇති බව පෙනී යයි.
ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් අප ඉදිරිපත් කළ කරුණු පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය අප වෙත ලිඛිතව ඉදිරිපත් කර ඇත.
අදාල ලේඛණයට අනුව,
සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හරහා ජනතාවට වන අපහසුතාවයන් පිළිබඳ අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. ඒ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස ඉතිහාසය තුලත්, වර්තමානයේත් හැකිතාක් සංවේදි වෙමින් කටයුතු කර ඇත.
ඒ අනුව ඉහත සංවේදි කරුණ මෙන්ම සාමාජිකයන්ගේ අදහස්ද සමීපව සැලකිල්ලට ගනිමින් සිටි මොහොතක, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අප වෙත යොමු කළ ලිපිය හරහා ලබා දී ඇති සංඥා පිළිබඳව ද අවධානය යොමු කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව, මේ වන විට ආරම්භ කර අඛණ්ඩව දියත් කිරීමට සැලසුම් කර තිබු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හෙට දින උදෑසන 8.00 ට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරන ලදී.
කෙසේ නමුත් අප විසින් අපේක්ෂා කළ සුවිශේෂි විසඳුම් කිසිවක් මෙම ලියවිල්ල තුල අන්තර්ගතව නොමැති තත්ත්වය යටතේ අපේක්ෂිත නිශ්චිත විසඳුම් ප්‍රකාශයට පත් වන මොහොත දක්වා මෙම අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහි සටන අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවට සපථ කරමු.
