සාධනීය විසඳුම් නැත්නම් සටන දිගටම

සාධනීය විසඳුම් නැත්නම් සටන දිගටම

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපියක ඉදිරිපත් කර ඇති යෝජනාවලියක සාධනිය තත්ත්වය, සාකච්ඡා ප්‍රවේශයකට පිවිසීමට අවස්ථාව සලසා ඇති බැවින්  වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවූ අතර, පිළිගත හැකි විසඳුමක් නොලැබෙන්නේ අත්හිටුවූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කරමින් නැවත ක්‍රියාත්මක කරන බව ලංකා බැංකු සේවක සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටින්නේ,

ජීවන වියදමින් මිරිකුණු සේවක පඩි පත මත වර්තමාන ආණ්ඩුව විසින් පනවන ලද අසාධාරණ බදු සංශෝධනයන්ට එරෙහිව වෘත්තියවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ ඛනිජ තෙල්, වරාය, විදුලිය, ජලසම්පාදන සහ අනෙකුත් ක්ෂේත්‍රවල වෘත්තීය සමිති සන්ධානය  විසින් ගනු ලැබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග අනුව යමින් ලංකා බැංකු සේවක සංගමය මාර්තු 13 වන දින කළු විරෝධතා දිනයක් ප්‍රකාශ කරන ලද අතර මාර්තු 14 දින දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දිවා කෑම පැයේදී සාර්ථක පිකට් උද්ඝෝෂණ මාලාවක් සිදු කරන ලදී.

එමෙන්ම මාර්තු 15 වන දින සිදුකරන ලද එක් දින වැඩවර්ජනය සඳහා ලංකා බැංකු සේවක සංගමයේ සමස්ත  සාමාජිකත්වය සහභාගී වෙමින් සේවයට වාර්තා නොකරන ලදී. රාජ්‍ය හා පුද්ගලික බැංකුවල 27000 කට ආසන්න අප සාමාජිකත්වය මෙම වර්ජනය සඳහා සහභාගී වීම තුළ රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල බොහොමයක් ශාඛා සම්පූර්ණයෙන්ම වැසුනු අතර දේශපාලන හා අවස්ථාවාදී සංගම් කීපයක මැදිහත්වීම මත ශාඛා කිහිපයක් පමණක් විවෘත වුවද නිසි පරිදි ගනුදෙනුකාර සේවාවක් ලබාදීමට නොහැකි විය.

විවිධ බැංකු ප්‍රධානින් ශාඛාවල විවෘත කළ දොරවල් ගණන අනුව ගනන් හිලව් ප්‍රකාශ කළද, වර්ජනය සමස්තයක් ලෙස අති සාර්ථකවූ අතර එයින් මහජනයා පත්වූ අපහසුතා පිළිබදව අප කණගාටුව පළ කරමු.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද පණිවිඩයක ප්‍රධාන රාජ්‍ය බැංකු ද්විත්වයෙහි ශාඛා බහුතරයක් පූර්ණ ලෙස විවෘත කෙරුණු බවට ප්‍රකාශ වුවද එය සත්‍යයෙන් තොර වන අතර, විවෘත වූ සුළුතරයක් වූ ශාඛාවන්හි පවා සේවකයින් කිහිප දෙනකු පමණක් සේවයට වාර්තා කර තිබූ අතර නිසි පරිදි ගනුදෙනුකාර සේවා සිදුකිරීමට  නොහැකි වූ බව ප්‍රකාශ කරමු.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ලෙස සහ සංගමය ලෙස අප  විසින් සාර්ථකව ක්‍රියාත්මක කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ග සහ වැඩ වර්ජනවල ප්‍රතිඵලයක් ලෙස ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපියක ඉදිරිපත් කර ඇති යෝජනාවලියක සාධනිය තත්ත්වය, සාකච්ඡා ප්‍රවේශයකට පිවිසීමට අවස්ථාව සලසා ඇති බැවින් සංගමය විසින් ක්‍රියාත්මක කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටුවූ අතර සංගමයේ නිල මණ්ඩල කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දු තීරණ ගැනීමට නියමිතය. කෙසේ වුව ද සාකච්ඡා ප්‍රවේශයෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබෙන්නේ නම් සංගමයේ නිල මණ්ඩල ගනු ලබන තීන්දු තීරණ අනුව අත්හිටුවූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කරමින් නැවත ක්‍රියාත්මක කරන බව ද දන්වා සිටිමු.