වර්ජනය ගැන ඒ. එච්. පී. ජනාධිපතිට ලියයි

වර්ජනය ගැන ඒ. එච්. පී. ජනාධිපතිට ලියයි

දීපව්‍යාප්ත ඒකාබද්ධ සංකේත වර්ජනය සහ වෛද්‍ය සංගමය වෙත ඉදිරිපත් කර ඇති විසඳුම් විසඳුම් ලිපිය කෙරෙහිද, බාහිර පාර්ශවයක් ලෙස අපගේ දැඩි සැලකිල්ල යොමු වූ බවත්, එසේම, ඔබගේ නිල ෆේස් බුක් පිටුව, ජානාධිපති මාධ්‍ය ඒකකය, ජනාධිපති වෘත්තීය සමිති කාර්යාලය, වර්ජනය කඩාකප්පල් කිරීම සඳහා සහ බිය වැද්දීම සඳහා ගනු ලැබූ නිර්ලජ්ජිත උත්සාහයන් පිළිබදවද සලකා බැලීමේදී, ගැටළු සාමකාමීව විසඳා ගැනීමට ඇති හැකියාව වුවමනාවෙන්ම අහුරා දමමින් සිටින බවක් පෙනෙන්නට තිබෙන බවත්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් කියා සිටී.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ශ්‍රී ලංකාවේ සියළු  වෘත්තීය සමිති ඒකාබද්ධව සහ වෙන් වෙන්ව සිදු කල ඉල්ලීම් ගණනාවක් නොසලකා හැරීම හේතුවෙන්, 2023.03.15 දින වැඩ වර්ජනයක් සිදු කල බව, ඔබ දැනුවත්ව ඇති බව විශ්වාස කරමු. තවද, සමස්ථ වෘත්තීය සමිති ව්‍යාපාරය එක්ව සිදු කල එම අරගලයට අදාල පිළිතුරක් ලෙස හැඟෙන පරිදි, ඔබ විසින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා වෙත පමණක් යොමු කරන ලද, විසඳුම් ලිපිය කෙරෙහිද, බාහිර පාර්ශවයක් ලෙස අපගේ දැඩි සැලකිල්ල යොමු වූ බව පෙන්වා දෙමු.

සමස්ථ වෘත්තීය සමිති ඒකාබද්ද වර්ජනයක් සිදු කරන අතරතුර ජනාධිපතිවරයා ලෙස ඔබ, එක් වෘත්තීය සමිතියකට පමණක් විසඳුම් ඉදිරිපත් කිරීම මඟින් ඉදිරි ක්‍රියාමාර්ග දියාරු කිරීමට අපේක්ෂා කර ලද්දේ නම්, ඒ පිළිබඳව අප අතිශයින්ම කණගාටු වෙමු. එය වනාහි, රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය පිළිබඳව ජනාධිපතිවරයාගේ තක්සේරුව පිළිබඳව කියවීමක් වන අතර,  මානසික අල්ලස් මගින්, වැඩකරන ජනතාවගේ සැබෑ අරගලයක් දියකර දැමීමට නොහැකි බව අප ඉතා අවධාරණයෙන් පෙන්වා දෙමු.

කෙසේ නමුත් එම ලිපිය මඟින්, වෘත්තීය සමිති අරගලයට අදාල ගැටලු විසඳීම තබා, ගැටලුව කුමක්ද යන්න පවා හරි හැටි අවබෝධ කරගෙන නොමැති බව ඉතා පැහැදිළිව පෙනෙන්ට තිබෙන අතර, රටේ මහ ජනතාවගේ හඬ, හෑල්ලුවට ලක්කිරීම මිස ඊට කිසිඳු වටිනාකමක් ලබා දීමේ සූදානමක් නොමැති බව නැවත වරක් සාක්ෂාත් කර තිබේ.

එසේම, රටේ ජනාධිපතිවරයා ලෙස ඔබ, දිගින් දිගටම තමන් දරන ස්ථාවරය පමණක් නිවැරදිය යන මතයේ රැඳී සිටිමින් කටයුතු කිරීමේ දැඩි ගතිකත්වයක්, එකී ලිපිය මඟින්ද   සනාථ කර තිබීම, ඉදිරියේදී දැවැන්ත අරගලයක් රට තුල නිර්මාණය වීමට හේතුවක් බව ඉතා කණගාටුවෙන් වුවද පෙන්වා දෙන්නෙමු.

එසේම, ඔබගේ නිල ෆේස් බුක් පිටුව, ජානාධිපති මාධ්‍ය ඒකකය, ජනාධිපති වෘත්තීය සමිති කාර්යාලය, වර්ජනය කඩාකප්පල් කිරීම සඳහා සහ බිය වැද්දීම සඳහා ගනු ලැබූ නිර්ලජ්ජිත උත්සාහයන් පිළිබදවද සලකා බැලීමේදී, ගැටළු සාමකාමීව විසඳා ගැනීමට ඇති හැකියාව වුවමනාවෙන්ම අහුරා දමමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.

මේ පිළිබඳව ඔබගේ දැඩි සැලකිල්ල යොමු කරමින් හැකි ඉක්මනින් සාකච්ඡා මාර්ගයට එළඹෙන ලෙස ඉල්ලා සිටින අතර, එසේ නොවන්නේනම් දින 7ක කාලයකින් පසු, වඩා දීර්ළඝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම හැර වෙනත් විකල්පයක් අපට ඉතිරිව නොමැති බවද, කණගාටුවෙන් යුක්තව පෙන්වා දෙමු.