රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති සම්මුතිය

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති සම්මුතිය

රටේ ශ්‍රම බලකාය නොසලකා හරිමින්ද, ඔවුන්ගේ ශ්‍රම සැපයීම අව තක්සේරු කරමින්ද, ශ්‍රම බලකායට සංවිධිත නායකත්වයක් ලබා දෙමින් සිටින වෘත්තීය සමිති මර්ධනය කරමින්ද, ඒකාධිපති, අත්තනෝමතික පාලනයකට පාර කපා ගනිමින් සිටින වර්තමාණ රජය, සාකච්චාව හා සම්මුතිය පිටු දකිමින් සිටීම මගින්, වැඩකරන ශ්‍රම බලකාය අනිවාර්‍ය අරගලයකට පොළඹවා ඇත.

එසේම වෘත්තීය සමිති සහ සැබෑ මහජන අරගල අප කීර්තියට පත් කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය නිර්ලජ්ජිත ලෙස පරිහරණය කරමින්, කෘතිම මහජන උසි ගැන්වීමක් හරහා වෘත්තීය සමිති වලට එරෙහිව ගැටුම් නිර්මාණය කිරීමටද රජය සැලසුම් කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.

එකී ක්‍රියාකාරීත්වය හරහා ශ්‍රම බලකායත්, ඔවුනගෙන් යැපෙන සහ ඔවුනට නායකත්වය දෙන මහජනතාවත් වෙන් කරමින් හා තනි කරමින් පීඩාවට පත් කිරීමත් රජයේ උපායික අරමුණ වී ඇති බවද පැහැදිළිව පෙනෙන්නට තිබේ.

ඒ අනූව, බලය රැක ගැනීම උදෙසා, ඔවුන් විසින්ම සහ ඔවුනගේ දුර්වල, දූෂිත, අදූරදර්ශී පාලනය හේතුවෙන්, රට තුල මතුව ඇති අර්ථික අර්බුදය නැවත වතාවක්, ඔවුන බලය රැකගැනීමේ ව්‍යාපෘතියක් බවට පත් කරගෙන ඇති බැවින් ඊට එරෙහිව සංවිධිත නායකත්වයක් යටතේ අරගල කිරීමටත්, කාර්යක්ෂම හා සඵලදායී ශ්‍රම සැපයුමක් හරහා තෘප්තිමත් වැඩ පරිසරයක් නිර්මාණය කර ගනිමින්, රටේ අර්ථික ගැටළුවට ගැලපෙන ශ්‍රම බලකායක් පවත්වා ගැනීම සදහා, සාමූහිකවත්, ඒකාබද්ධවත් කටයුතු කිරීමටත්, කිසියම් වෘත්තීය සමිතියක් හෝ වෘත්තීය සමිති නායකයෙකු තනිකර මර්ධනය කිරීමට හෝ දණ්ඩනය කිරීමට ලක් කලහොත් ඊට එරෙහිව සාමුහිකව අරගල කිරීමටත් අප එකකඟව කට යුතු කිරීමට අද දවසේදී ප්‍රතිඥ දෙමු.

ඒ සඳහා, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති මධ්‍යස්ථානය ලෙස ඒකාබද්ධව කටයුතු කරන අප, මූලික වටයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා දැනටමත් රජයට ඉදිරිපත් කර ඇති පහත ඉල්ලීම් වාහා ඉටු කිරීමට බල කරමින්, වෘත්තීය අරගලයක් සදහා ඒකාබද්ධව, එකාවන්ව කටයුතු කිරීමටද එකඟතාවය පළ කර සිටිමු.

  • බැංකු ණය පොළී අනුපාත අඩුකරනු !
  • රුපියල් 20,000/= ක ජීවන අංක දීමනාවක් ලබාදෙනු !
  • අසාධාරණ ලෙස ඉහල දැමූ විදුලිබිල අඩු කරනු !
  • විශ්‍රාම වැටුපට අත නොතබනු !
  • රාජ්‍ය ආයතන විකිණීම නවතනු !
  • මාසික වැටුපට ගැසූ බදු අහෝසි කරනු !
  • රාජ්‍ය සේවා බඳවා ගැනීම් කඩිනම් කරනු !

කැඳවුම්කාර මණ්ඩලය

රාජ්‍ය හා අරධ රාජ්‍ය වෘත්තීය සමිති මධ්‍යස්ථානය

2023. 03. 30 වෙනි දින, කොළඹදී...