රට තුළ ශ්‍රම බලකායෙන් 45% ත් 60% ත් අතර වන අවිධිමත් ලෙස ආර්ථිකයට දායකත්වය දෙන කම්කරුවන් සහ ජනතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුල වන කිසිදු විධිමත් වැඩපිළිවෙලක් නොමැති අතර, අවිධිමත් අංශයේ කම්කරුවන් සඳහා විධිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කිරීමට සෑම රජයක්ම අසමත් වී ඇති බවත්, කොවිඩ් වසංගතය සහ පාලකයන්ගේ අසමත්කම් සහ දුෂණ නිසා මතු වූ ආර්ථික අර්බුධය නිසා සෑම කාලෙකම මෙන් දරිද්‍රතාවය වෙත තල්ලු වුණේ අවිධිමත් අංශයේ රැකියාවල නියුතු කම්කරුවන් බව ප්‍රොෙටක්ට් වෘත්තීය සමිතිය මැයි දිනය වෙනුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,
1886 මැයි පළමුවනදා යනු කම්කරු පන්තියේ, වැඩකරන ජනතාවගේ වීරත්වයේ සැමරුම් දිනයයි. දිනකට පැය 10 සිට 16ක් දක්වා තමන්ගේ ශ්‍රමය අසීමාන්තික ලෙස සූරා කෑමට එරෙහිව පැය අටක වැඩ දිනය ඉල්ලා චිකාගෝ නුවර හේමාකට් චතුරශ්‍රය සටන් කාමිත්වයෙන් ඇවිලවූ දිනයයි. සෑම යුගයකම මෙන් හාම්පුතුන් වෙනුවෙන් වූ මුර බල්ලාගේ කාර්යය හෙබවූ ආරක්ෂකයන්ගේ වෙඩි උණ්ඩ වලින්, වැඩකරන මිනිසුන්ගේ රත් පැහැ ලෙයින් සුදු වන් පතාක වලට පන්තියේ පැහැය ලබා දුන් දිනයයි. මෙය වර්තමානයේ සුලභව දක්නට ලැබෙන පරිදි සැබවින්ම චන්දයෙන් චන්දයට කම්කරුවා පාවිච්චි කරමින් තම බලය වෙනුවෙන් ඕනෑම නරුම ක්‍රියාවක් කරන නරුම මුග්ධ දෙස්පාලුවන්ගේ දිනයක් නොවේ.
නමුත් අද අපට දක්නට ලැබෙන්නේ හිඟා කන රටක්, කුසගින්නේ සිටින ජනතාව දිනෙන් දින වර්ධනය වන, උද්ධමනය වේගයෙන් අහසට නගින, දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන, වේල් 3න් වේලක් කා ජිවත් වෙන මිනිසුන් සිටින, බඩගින්න සහ අසාධාරණයට අයුක්තියට එරෙහිව පාලකයන්ගේ හමුදාව යොදා පහර දෙන, රටේ ලාභ ලබන ආර්ථික මරමස්ථාන විකුණා දමන, රටේ කම්කරුවන්ගේ සමාජාරක්ෂණය හොරකම් කරන රටක පාලකයන්ගේ සහ පාලකයන්ගේ ගෝලයන්ගේ කම්කරු දින සැමරුම්ය. මෙය ඛේදවාචකයකි. මෙම ඛේදවාචකය දෙස ශාන්තව බලා ඉන්නා ඔලුව මැරුණ මිනිසුන්ගෙන් පිරුණ දේශයක තවදුරටත් කම්කරු අයිතිවාසිකම් යන්න සිහිනයක් වත් නොවේ. මේ තත්ත්වයට එරෙහිව සටන් කළ යුතුව ඇත. මෙහිදී වෘත්තීය සමිති වල කාර්යභාරය විය යුත්තේ අහිමි වෙමින් පවතින කම්කරු අයිතීන් ආරක්ෂා කිරීමත්, දිනා ගත යුතු කම්කරු අයිතීන් දිනා ගන්නා තුරු අත නොහැර සටන් කිරීමත්, පවතින සමාජයට වඩා යහපත් සමාජයක් වෙනුවෙන් තම කාර්යභාරය අඛන්ඩව ඉටු කිරීමයි.
රට තුළ ශ්‍රම බලකායෙන් 45% ත් 60% ත් අතර වන අවිධිමත් ලෙස ආර්ථිකයට දායකත්වය දෙන කම්කරුවන් සහ ජනතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුල වන කිසිදු විධිමත් වැඩපිළිවෙලක් නොමැත. මෙයින් සාතිශය බහුතරයක් නියෝජනය කරන අවිධිමත් අංශයේ කම්කරුවන් සඳහා විධිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කිරීමට සෑම රජයක්ම අසමත් වී ඇත. නමුත් කොවිඩ් වසංගතය සහ පාලකයන්ගේ අසමත්කම් සහ දුෂණ නිසා මතු වූ ආර්ථික අර්බුධය නිසා සෑම කාලෙකම මෙන් දරිද්‍රතාවය වෙත තල්ලු වුණේ අවිධිමත් අංශයේ රැකියාවල නියුතු කම්කරුවන්ය. එසේම උක්ත අර්බුධය නිසා රැකියා අහිමි වූ විධිමත් අංශයේ කම්කරුවන්ද අවිධිමත් අංශයේ ගොඩටම එකතු වෙමින් සිටින්නේ දශක ගණනාවකම සිටය.
ගෘහස්ථ කම්කරුවන් සඳහා කම්කරු අයිතිවාසිකම් නීති ගත කරන ලෙස අප වසර ගණනාවක සිට ඉල්ලීම් කරමින් සිටිමු. එසේම අවිධිමත් අංශය සඳහා සමාජ ආරක්ෂණ ක්‍රමයක් ඇති කිරීම යන්න මහා බැංකු වාර්තාවේ යෝජනාවක් ලෙස පමණක් සඳහන්ව ඇති මුත් තවම එය සකස් කර නැත. රට තුළ දිනෙන් දින උග්‍ර වන ආර්ථික අර්බුධයන්ගෙන් අවිධිමත් අංශය ආරක්ෂා කිරීම සඳහා රජය නිසියාකාර වැඩපිළිවෙලක් සකස් කරන බවක් දක්නට නොලැබේ. එම නිසා පෙර වර්ෂයන්ට වඩා පුළුල් ලෙස මෙවර මැයි දිනයේ දී අවිධිමත් අංශයේ කම්කරුවන් නියෝජනය කරන වෘත්තීය සමිතිද විධිමත් අංශයේ වෘත්තීය සමිති හා එක් ව අත්වැල් බැඳගෙන ඇත. මක් නිසාද යත් මෙවර වෘත්තීය සමිති ඒකාබද්ධ මැයි රැළියක් පවත්වන අතර එය දේශපාලන පක්ෂ න්‍යාය පත්‍රයන්ගෙන් ස්වාධීනව පවත්වනු ලබයි.
එහි තේමාව වී ඇත්තේ “ අයිතීන් දිනා ගැනීමට එක්වෙමු! - ජන පීඩනය සහ මර්දනය පරදවමු! වැඩ කරන ජනතා මැයි දිනය ! යන්නයි. මේ සඳහා ප්‍රොටෙක්ට් සංගමයේ සටන් පාට වන්නේ,
ගෘහස්ථ කම්කරුවන්ද කම්කරුවන්ය - ගෘහස්ථ කම්කරු අයිතිවාසිකම් නීති ගත කරනු!
අවිධිමත් අංශයේ කම්කරුවන් සඳහා සමාජ ආරක්ෂණ වැඩපිළවෙලක් සකස් කරනු! යන්නයි.
ගෘහස්ථ කම්කරුවන් අයිතිවාසිකම් නීතිගත කරන ලෙස වන ඉල්ලීම අප සංගමය වසර 4ක් පමණ සිට සිදු කරන ඉල්ලීමක් වන අතර ඒ සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතියක් වන ILO C189 රට තුළ අපරානුමත කරන ලෙස ද ඉල්ලා සිටිමු. මේ සඳහා දිගින් දිගටම සිදු කරන ලද ඉල්ලීම් වල ප්‍රතිපලයක් ලෙස හිටපු කම්කරු අමාත්‍යවරයා විසින් ගෘහ සේවකයන් සඳහා EPF ETF, පඩි පාලක සභාවක්, ජාතික අවම වේතන පනත සංශෝධනය කර ගෘහ සේවකයන්ද ඊට ඇතුළත් කිරීමට පොරොන්දු විය. නමුත් මේ වන තෙක් ඒවා ඉටු නොවීම කණගාටුවට කරුණකි. නමුත් අප ඉදිරියටත් ඒ වෙනුවෙන් හඬ නැගීම සිදු කරන්නෙමු.
එසේම මෙරට අවිධිමත් අංශය වෘත්තීය සමිති ගත කිරීමේ දුෂ්කර වෑයම අපි ජයගන්නා තෙක් රට පුරා අවිධිමත් අංශය සංවිධානය කිරීමේ වගකීම අප සතුව ඇති බව අප විශ්වාස කරන්නෙමු. ඒ සඳහා අපි අඛන්ඩව අපගේ සංවිධාන කටයතු සිදු කරන අතර ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ ගතිකයන් අවබෝධ කරගනිමින් කටයුතු කරමින් සිටිමු. ඒ සඳහා එක්ව කිසිදු දේශපාලන පක්ෂයක අතකොළුවක් නොවී අනෙකුත් වෘත්තීය සමිති, බහු ජන සංවිධාන, සිවිල් සමාජ සංවිධාන, කලාකරුවන්, LGBTIQ+ ප්‍රජාව, සංක්‍රමණික කම්කරුවන් ජාත්‍යන්තර සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සමග සාමූහිකව කටයුතු කිරීමට අපේක්ෂා කරමු. රටේ සමස්ත අවිධිමත් අංශයේ කම්කරුවන් සඳහා අපි ආරාධනයක් කරන්නෙමු. එනම් ඔබගේ ආර්ථික සමාජ දේශපාලනික අර්බුධයන්ගෙන් ගොඩ ඒමට නම් අපි සංවිධානය විය යුතුමය. ඉන් හැර වෙන කිසිදු විකල්පයක් නොමැත.
ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ වත්මන් මොහොත යනු රටේ අර්බුධයන් සමග අර්බුධයට ගමන් කරන ව්‍යාපාරයක් බව විවේචනාත්මක පිළිගත හැකි කාරණයකි. නමුත් අප සිතිය යුත්තේ වෘත්තීය සමිති ව්‍යාපාරය ශක්තිමත් සෑම මොහොතක්ම සාමුහිකත්වය සහ නොපසුබස්නා ධෛර්යයෙන් කම්කරු පන්තිය දිනා ගත් දෙයක් මිස කිසිවෙකු සුවපහසු මාවත් ඔස්සේ කටයුතු කළ අවස්ථා නොවේ. එම නිසා වෘත්තීය සමිති වලට ඇත්තේ පවතින සමාජ දේශපාලන ආර්ථික තත්ත්වයන් අනුව මනෝභාවයන් හැඩ ගැසුණු කම්කරුවන් පිරිසක් සංවිධානය කිරීමයි. ඒ සඳහා වන උපාය මාර්ගයන් පිළිබඳව අප නැවත සිතිය යුතුව ඇත. මක් නිසාද යත් වර්තමානයේ අප සතු විශාල අභියෝගයක් වන්නේ කම්කරුවා කම්කරුවෙක් බව නොදැන සිටීම සහ සම්ප්‍රදායික කම්කරුවා යන අර්ථකථනයට තවදුරටත් වර්තමානයේ වැඩ කරන ජනතාවගේ සමස්තයම අයත් නොවීමයි. එම නිසා වෘත්තීය සමිති වල ඓතිහාසික කාර්යභාරයක් වන යහපත සමාජයක් ගොඩ නැගීම සඳහා කම්කරු පන්තිය සංවිධානය කිරීම යන අත්නොහැරිය හැකි සහ අත් නොහැරිය යුතු වගකීම වගවීම තම උර මතින් බිම තැබීම කිසිදා නොකළ යුත්තකි. සංවිධානය වෙමු සංවිධානය කරමු! මිට වඩා යහපත් සමාජයක් වෙනුවෙන් එක්ව සටන් වදිමු!