වැඩකරන ජනතාව ආර්ථික සහ දේශපාලන මර්දනයට එරෙහිව එක්වෙයි!
ශ්‍රී ලාංකික දේශපාලනයේ 1970 වසරෙන් පසු තීරණාත්මක පුපුරායෑමක් 2022 දී සනිටුහන් කළේය. දශකයකට වැඩි කාලයක් ශ්‍රී ලංකාව ග්‍රහණයට ගෙන සිටි, දුර්දාන්ත රාජපක්ෂ පාලනය මහජන නැගිටීමකින් අවසන් විය.
ඒ වුණත්, රාජපක්ෂ පාලනය අවසන් වූ විගස, දේශපාලන නායකත්වයක් නොමැති පසුබිමක, ප්‍රජාතන්ත්‍ර විරෝධී ජනාධිපතිවරයෙක් ජනවරම අහිමි කරගත් පාර්ලිමේන්තුවක අනුමැතියෙන් බලයට පත් විය.
දූෂිත ව්‍යාපාරික පැළැන්තියේ සහයෝගයෙන් රට ආර්ථික අවපාතයක් දක්වා යොමු කළ දේශපාලන නායකත්වය, ප්‍රජාතන්ත්‍ර විරෝධී ජාත්‍යන්තර ආයතනයක් වන අයිඑම්එෆ් සමග ඒකාබද්ධව රටේ බලය හොබවමින් සිටී. ඒ අතරමැද්දේ රට, 1930න් පසු ඇති වූ දරුණුම ආර්ථික අවපාතයේ පතුල දක්වාම පහළ වැටී ඇත.
මේ ආර්ථික අර්බුදය දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වූවක් බව වැඩකරන ජනතාව ලෙස අපි හොඳින් දන්නෙමු.
දශක හතරක් තිස්සේ, අපගේ වැඩකරන ජනතාව, විශේෂයෙන්ම නිදහස් වෙළඳ කලාපයේ වැඩකරන ජනතාව, වතු කම්කරු ජනතාව සහ විදේශ ශ්‍රමිකයන් රටේ ආර්ථිකය තමන්ගේ දෑත් මත දරාගෙන සිටිමින්, රටට ඩොලර් ආදායම ගෙනාවේය. ව්‍යාපාරික ප්‍රභූන්ගේ සහයෝගයෙන් දේශපාලන ප්‍රභූන් විසින් ඒ ජනතා ශ්‍රමය කොල්ල කෑවේය. ඵලදායී නොවන ආයෝජනවලටත්, නියාමනයක් නොමැතිව අධි සුඛෝපභෝගී භාණ්ඩ ආනයනයටත් එම මුදල් අවභාවිත කළේය. එපමණක් නොව, වැඩකරන ජනතාව විසින් එසේ උපයන ලද අපේ රටේ ධනය විදේශීය අක්වෙරළ බදු විජිතවල තමන්ගේ පරිභෝජනය වෙනුවෙන් තැන්පත් කළේය.
දැන් අප මුහුණදෙන අර්බුදය 1970 ගණන්වල සිට නිර්මාණය වූවකි. ඒ මෙරට දේශපාලන ප්‍රභූන් හා ව්‍යාපාරික ප්‍රභූන් විසින්, වැඩකරන ජනතාවට එරෙහිව- වෙළඳාම විවෘත කරමින්, රාජ්‍ය දේපළ පෞද්ගලිකකරණය කරමින්, කම්කරුවන්ගේ ආරක්ෂාව දුර්වල කරමින්, වෘත්තිය සමිති බිඳහෙළමින්, නියාමනයක් නොමැතිව ප්‍රාග්ධනය පිටමං කරන්නට ඉඩ සලසමින්- දියත් කළ සටන් ගණනාවක ප්‍රතිඵලයක් ලෙසය.
දේශපාලන සහ ව්‍යාපාරික ප්‍රභූන් විසින් ජනවර්ගවලට එරෙහිව ඉහවහා ගිය ජාතිවාදයක්, කාන්තාවන්ට හා ලිංගික ප්‍රජාවන්ට එරෙහි ලිංගික හිංසනයක් සූක්ෂමව පාවිච්චි කරන ලද්දේ වැඩකරන ජනතාව බෙදා වෙන් කර තබාගැනීම පිණිසය.
වසර හතරක ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ වැඩකරන ජනතාවට එරෙහි ප්‍රතිපත්ති හේතුවෙන් ආහාර උද්ධමනය සීයට 90 දක්වාත්, උද්ධමනය සීයට 70 දක්වාත්, විදුලි බිල සීයට 200කිනුත්, ප්‍රවාහන වියදම් තුන් ගුණයකිනුත්, භූමිතෙල් මිල හතර ගුණයකිනුත් ඉහළ යද්දී සැබෑ වැටුප සීයට 40කින් කඩා වැටුණි.
අර්බුදයේ සම්පූර්ණ බර වැඩකරන ජනතාව මත පටවන ලදී. ඒ අතරතුරේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීම හිතුවක්කාර ලෙස ප්‍රතික්ෂේප කරමින්, දැවැන්ත ආනයන සහ අපනයන ව්‍යාපාරිකයෝ වාර්තාගත ලාභ සෙව්වෝය.
ආණ්ඩුව සිය නොහැකියාව සමග ජාත්‍යන්තර හෙට්ටු කිරීම්වලදී අයිඑම්එෆ් සහ ණය හිමියන් වෙත ජනතාව පාවා දුන්නේය. සමස්ථ ණය මුදල පොදුජන යහපත වෙනුවෙන් යොදවන්නේ නැති බව දැන දැනම කිසිදු ලැජ්ජාවක් නැතිව රාජපක්ෂලා වෙත ණය ලබා දුන් ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන් අද දේශීය ණය කප්පාදු කරන්නැයි බලපෑම් කරමින් සිටී. ඊපීඑෆ් සහ ඊටීඑෆ් අරමුදල්වල අපේ වැඩ කරන ජනතාව ඉතිරි කරන ලද ඒ අරමුදල්, ණයවලින් කපා දමන්නැයි ඔවුන් එලෙස බලපෑම් කරන්නේ ඔවුන් ලබා දුන් පිළිකුල් සහගත ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා මූලික කොන්දේසියක් ලෙසය.
අද රට පාලනය කරන්නේ ඡන්දයෙන් පත් නොවූ ජනාධිපතිවරයෙක් සහ ජනවරම ඉල්ලන්නට බැරි, බියගුලු ආණ්ඩුවකි. අද අපි ඉන්නේ නිල බලයක් නොලබාම, අධිකාරීවාදී විධායකයක් විසින් රාජ්‍ය සතු සියලු බල අවි අවභාවිතා කරන රාජ්‍යයකය. විධායකය විසින් හදිසි නීතිය, ත්‍රස්ත පනත, පොලීසිය හා මිලිටරිය ජනතාවගේ භාෂණයේ සහ එක්රැස්වීමේ නිදහසට එරෙහිව පාවිච්චි කළේය.
මේ ආර්ථික අර්බුදය පුපුරා ගියේ, දේශපාලන අර්බුදයක්, ගෝලීය ආර්ථික හා දේශගුණ අර්බුදයක් මැදය. ගෝලීය මට්ටමෙන් ලෝක ආර්ථිකය අවපාතයකය. ලෝක බැංකුව විසින් ලෝක ආර්ථිකයිඅන්තරායකාරී ලෙස අවපාතයට වැටීමට ආසන්න‘ බව කියා තිබේ. මිලියන ගණන් දුප්පත්කමට සහ අසරණභාවයට තල්ලු කරන, ආර්ථික අවපාතයක් ගැන මේ තරම් අනුමානයන් තිබියදී, බලවත් රාජ්‍යයන් හෝ ලෝක බැංකුව හා අයිඑම්එෆ් වැනි ජාත්‍යන්තර ආයතන කිසිවක්, තමන් හඳුන්වා දී පාලනය කරමින් සිටින ආර්ථික ආකෘති හේතුවෙන් ඇති වූ මේ අර්බුදයේ වගකීම බාරගෙන නැත.
ඒ අතර ගෙවුණු වසර අට මෙතෙක් ඉතිහාසයේ වාර්තා වී ඇති උණුසුම්ම වර්ෂයන් බවට පත් කරමින්, ගෝලීය උෂ්ණත්වය වර්ධනය වෙමින් පවතින්නේ, බිහිසුණු දේශගුණ විනාශයන්ට ලෝකයම තල්ලු කරමින්ය. ශ්‍රී ලංකාව වැනි රටවල් දේශගුණ විනාශය ඇති කරන්නට අඩු කාර්යභාරයක් ඉටු කළත්, එහි නරකම බලපෑම්වලට ලක් වීමට නියමිතය.
මේ වසරේදී වෘත්තිය සමිති, බහුජන සංවිධාන, වැඩකරන ජනතාව, ගොවීන්, ධීවරයන්, වෘත්තියකයන් සහ කලාකරුවන් ඒකාබද්ධ මැයි දින පාගමනකට එක්සත් වෙයි.



