යෝජිත “විකාශන නියාමන කොමිසම් පනත” ජනතා විරෝධී පනතකි

යෝජිත “විකාශන නියාමන කොමිසම් පනත” ජනතා විරෝධී පනතකි

මේ ආණ්ඩුව යෝජනා කරන විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමනය කිරීමේ කොමිසමක් පිහිටුවීමේ පනත ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරන්නක් නොවේ. ජනතාවාදී පනත් අපි මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු නොවන්නෙමු. මේ ආණ්ඩුව ප්‍රති ත්‍රස්ත පනත සම්මත කරන්නට බලාපොරොත්තු වූයේද ආණ්ඩු විරෝධය මර්දනය කිරීමට ය. එය පැත්තකින් තබා ඇත්තේ යුරෝපා “ජී.එස්.පී අධි සහනය” ලබා ගැනීමේ අටියෙනි. ඒ අතරතුර තවත් අයිතිවාසිකම් කප්පාදුවක් කම්කරු ඇමතිවරයා මගින් තනි කම්කරු නීතියක් ලියන්නේ යැයි සිදු කෙරෙන්නේය. එමගින් අපේක්ෂා කෙරෙන සේවක අයිතිවාසිකම් කප්පාදුවෙහි බරපතලම කාරණය වන්නේ ජාවාරම්කාර හාම්පුතුන්ට සේවක සේවිකාවන් අවශ්‍ය පරිදි සේවයෙන් නෙරපීමට හැකි පසුබිම හැදිමෙහිය. එවැනි ප්‍රතිපාදන සමග තනි කම්කරු නීතියක් හදන්නේ යැයි එය අලෙවි කෙරෙන්නේ කාන්තාවන්ට සේවය කිරීමෙහි සම තැන දෙන්නේ යැයි කීමෙනි. එවගේම මෙම විකාශන නියාමන කොමිසම් පනත අලෙවි කෙරෙන්නේද වඩා යහපත් මාධ්‍යයක් වෙනුවෙන් යැයි කීමෙනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි සමග මේ ආණ්ඩුව ගොඩ දමන ආර්ථිකයෙහි ඉදිරි කාලයේ  ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ට මිස සාමාන්‍ය ජනතාවට කිසිදු සෙතක් අත් නොවන බව, ආණ්ඩුවේ ඉහළ පෙළ නායකයින් පවා හොඳාකාරව දන්නා කාරණයකි. මේ සියලු අණ පනත් ඉදිරිපත් කෙරෙන්නේ  එවැනි පසුබිමක ගොනු විය හැකි ආණ්ඩු විරෝධය ආරම්භයේදීම තලා දැමීම වෙනුවෙනි. විකාශන නියාමන කොමිසමක් පිහිටු වන්නට යන්නේ සමාජ මත හැසිරවීමේ බලය ආණ්ඩුවේ අතට ගැනීමට ය. නිශ්චිත අර්ථකතන නොමැති තෝරා ගත් ක්ෂේත්‍ර කිහිපයක් ගැන කතා කිරීම තහනම්කර ඇත්තේද ඒ වෙනුවෙනි.

යෝජිත විකාශන පනතට අනුව, ජාතික ආරක්ෂාවට, ජාතික ආර්ථික ප්‍රතිපත්තියට සහ වාර්ගික හා ආගමික යහ පැවැත්මට අවාසි වන්නේ යැයි සැළකෙන කිසිවක් කතා කළ නොහැක. ඒ සම්බන්ධ අර්ථකතන නොමැති හෙයින් විය හැක්කේ, අයි.සී.සී.පී.ආර් පනතේ වාර්ගික හා ආගමික කරුණු අර්ථ දැක්වෙන අයුරු බලධාරීන්ගේ කැමැත්ත අනුව සියල්ල අර්ථදැක්වීම ය. කවර අර්ථකතනයක් සමග වූවත් රටක ජාතික ආර්ථික ප්‍රතිපත්තිය ගැන විවේචන, විරෝධතා තිබිය නොහැකි යැයි කියන්නේ හිට්ලර් යටතේ වත් නොවුනකි. එනිසා තවමත් හදනවා යැයි කියන තනි කම්කරු පනත සමග මේ විකාශන නියාමන පනත ගත්විට, සේවක සේවිකාවන්ගේ ඉරණම මේ ආණ්ඩුව විසින් ජාවාරම්කාරයින් වෙනුවෙන් තීන්දුකර හමාර වූවකි.

විකාශන නියාමනය සඳහා ආණ්ඩුවකට හෝ රාජ්‍ය ආයතනයකට නීති හැදීමට අවසර ඇත්තේ නැත. විකාශනය කෙරෙන්නේ ජනතාවට අයිති විද්‍යුත් සංඛ්‍යාත මගින්ය. ආණ්ඩුවට ඇත්තේ ඒවායේ භාරකාරත්වය පමණි. එබැවින් විද්‍යුත් සංඛ්‍යාත අලෙවි කිරීමට හෝ දිගු කාලීනව කුලියට දීමට හෝ නොහැක. එවගේම විද්‍යුත් සංඛ්‍යාත සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී ඊට අදාල සියලු තොරතුරු හා කොන්දේසි ඒවායේ හිමිකරුවන් වන ජනතාවගේ දැන ගැනීම පිණිස ප්‍රසිද්ධ කළ යුතුය. එවැනි අතිශය වැදගත් කාරණා ඉස්මතු කිරීමට මාධ්‍ය සංවිධාන හා මාධ්‍ය ක්‍රියාකාරීන් මෙතුවක් කල් උනන්දු නොවූයෙන් මේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ඒ පරම අයිතිය දිගින් දිගටම උල්ලංඝණය කෙරුණකි. ජාවාරම්කාර ව්‍යාපාරික වුවමනාවන් වෙනුවෙන් ප්‍රතිපත්ති සකසන කිසිම ආණ්ඩුවක් මාධ්‍යවේදීන් හා මාධ්‍ය සංවිධාන කතා නොකරන ජනතාවගේ මාධ්‍ය අයිතීන් තහවුරු කිරීමට උනන්දු වන්නේ නැත.

සබැඳි පුවත්

මේ යුගයේ සියලු ප්‍රතිපත්ති, සියලු නීති සම්පාදන ජනතාවගේ සෘජු මැදිහත්වීමෙන් සිදුවිය යුතුයැයි අප අවධාරණය කරන්නේ ඒ නිසාවෙනි. තනි කම්කරු නීතියක් සම්පාදනයේදී පවා අප සියලු පාර්ශවයන්ගේ සමාජ කතිකාවක අවශ්‍යතාව අවධාරණය කරන්නේ ඒ හේතුව නිසා ය. ඒ වගේම  ආණ්ඩුව යෝජනා කර ඇති විකාශන නියාමන කොමිසම් පනත ගැන අප කියන්නේද ජනතාව සතු විද්‍යුත් සංඛ්‍යාත භාවිත කෙරෙන සියලු විකාශන ආයතන හා සේවා නියාමනය කිරීමේ කටයුතු තීන්දු කළ යුත්තේ ජනතාව මිස ආණ්ඩුව නොවේ යැයි කියාය. මේ යෝජිත පනත් කෙටුම්පත සහමුලින් ප්‍රතික්ෂේප කළ යුතුයැයි අප කියන්නේද එනිසාමය.

ඒ වෙනුවට රාජ්‍ය මාධ්‍ය ආණ්ඩුවේ දේශපාලන බලාධිකාරයෙන් ස්වාධීනව ස්ථාපිත කිරීමද ඇතුළුව මාධ්‍ය නියාමන ප්‍රතිපත්ති සහ කොන්දේසි තීන්දු කිරීමේ සමාජ කතිකාවක් මේ මොහොතේ මාධ්‍ය සංවිධාන හා සමාජ ක්‍රියාකාරීන් භාරගත යුතු වගකීමකි. ඒ වෙනුවෙන් අනෙක් සියලු පාර්ශව හවුල්කර ගැනීමේ වගකීමද ඔවුන්ට පැවරෙන්නකි. ඒ වෙනුවෙන් අපගේ පූර්ණ සහාය හා සහභාගිත්වයද අපි මෙයින් සහතික කරමු.

ඇන්ටන් මාකස්

සම ලේකම්

නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සංගමය