ගෘහස්ථ කම්කරුවන්ට සාධාරණත්වය ඉටුවන්නේ කවදාද?

ගෘහස්ථ කම්කරුවන්ට සාධාරණත්වය ඉටුවන්නේ කවදාද?
සෑම වසරකම ජුනි 16 දා යනු ජාත්‍යන්තර ගෘහ සේවක දිනයයි. මෙය  එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිරීක්ෂණය කරනු ලබන අතර ගෝලීය ආර්ථිකයට ගෘහ සේවක/සේවිකාවන්ගේ ඉටුවන දායකත්වය පිළිගනී. මෙම අත්‍යවශ්‍ය ගෘහස්ථ කම්කරුවන්  සඳහා ජාත්‍යන්තර කම්කරු නීති ස්ථාපිත කරන ලද ගෘහ සේවකයින් සඳහා විනීත වැඩ සඳහා වන ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සම්මුතිය 189 -2011 සම්මත කිරීමේ සංවත්සරය සනිටුහන් කරයි. පිරිසිදු කිරීම, ඉවුම් පිහුම්, සේදීම සහ පුද්ගල රැකවරණය වැනි කාර්යයන් ඉටු කිරීම සඳහා මෙම ගෘහස්ථ කම්කරුවන් ඉමහත් දායකත්වයක් දක්වමින් සිටියි. එසේ වුවද, ඔවුන්ට හිමි තැන කුමක්ද යන්න කල්පනා කිරීමේදී නම් එය දැවැන්ත ඛේදවාචකයක් බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. 
 
ප්‍රොටෙක්ට් සංගමයේ ප්‍රධාන ලේකම් කල්ප මධුරංග මේ පිළිබඳව දැරුවේ මෙවන් අදහසකි.
 
"ජාත්‍යන්තර ගෘහස්ත කම්කරුවන්ගේ සම්මේලනය" ඇතුළු විවිධ සංවිධාන ලෝකය පුරාම‌ මේවන විට වැඩකරමින් ඉන්නවා. ලංකාවෙ මේ මොහොත ගැන හිතද්දී, කොවිඩ් වලින් පසු හා ආර්ථික අර්බුදය තුළ තත්ත්වයක් ඉතාමත් නරකයි. කොවිඩ් කාලයේදී ගොවල්වල සිට වැඩකරනන්ට ගැනීම නිසාත්, සංචරණ සීමා, ලොක්ඩවුන් ආදිය නිසා ගෘහස්ථ කම්කරුවන්ගේ සේවය අත්හිටවනු ලැබුවා. නිවසේ සිට වැඩ කිරීම( work from home) තාමත් පුරුද්දක් හැටියට ඇතැම් ආයතනවල පවත්වාගෙන ඒ්ම නිසා අත්හිටවු ගෘහස්ථ සේවකයින්ගේ ඉරණමට වෙනසක් වෙලා නෑ. තමන්ගෙ වැඩ තමන්ම කරගන්නා තැනට හාම්පුතුන් පත්වුණා. අනෙක් අතට කොළඹ නම් මෙම ආර්ථික අර්බුදය හමුවේ ගෘහස්ත සේවකයින්ට වැටුප් ගෙවාගෙන පැවැතීමට නොහැකි තත්ත්වයට හාම්පුතුන් ඇදවැටුණා. සමහර  හාම්පුතුන් විදේශ ගත වුණා. තවත් අය පවුලේ වැඩ ටික තමන්ම කරගැනීම නිසා ගෘහස්ථ සේවකයින්ගේ රැකියා අහිමිවුණා. අනිත් පැත්තෙන් අඩු වැටුපට වතුකරයෙන් ලාභ ශ්‍රමය ගේන්න පටන් ගත්තා. තමන් ළඟ හිටපු රු. 50,000-60,000 ගෙවපු සේවකයා වෙනුවට වතුකරයෙන් රු.25,000ට 30,000ට සේවකයින් ගෙනෙන තැනට පත්වුණා. 
 
කොවිඩ් වාතාවරණය හමුවේ වුවත්, ආර්ථික අර්බුදය හමුවේ වුවත් අවිධිමත් ක්ෂේත්‍රයේ රැකියාවල නිරතවූවන්ට, විශේෂයෙන් ගෘහස්ථ කම්කරුවන්ට අවම කොන්දේසි යටතේ හෝ ඔවුන්ගේ ජීවනෝපාය පවත්වාගෙන යන්නට වැඩපිළිවෙළක් අණේඩුව විසින් හැදුවෙ නෑ. වතුකරයේ අදටත් තමන්ගේ රැකියා අහිමිවෙලා, ඉතාමත් දුක්ඛිත ලෙස තමන්ගේ දරුවන් ළඟ  පිළිසරණ පතාගෙන සිටින්නට සිදුවන මට්ටමට ඇදවැටුණා. ඔවුන්ගෙන් අතිබහුතරයක් වේලක් විතරයි දවසට ආහාරයට ගන්නෙ. ඔවුන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තෙ නෑ.
 
ගෘහස්ථ කම්කරුවන්ට මේ විදිහට වෙද්දී ආර්ථික වශයෙන් කඩාගෙන වැටෙනවා සේම සමාජීය වශයෙන් පිළිගැනීමකුත් නැති වෙනවා. දිගින් දිගටම අපි රජයට යම් යම් ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිටියත්, සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. මේ දවස්වල කම්කරු නීති සංශෝධනය කිරීමට අදාළ සාකච්ඡාවක් සිදුවෙමින් පවතින නිසා අපි බලාපොරොත්තු වුණේ සිදුවීමට නියමිත කම්කරු නීති සංශෝධනය තුළදී හෝ මෙම ගෘහස්ථ කම්කරු සේවකයින්ට යම් සහනයක් සැලසීමේ විධිවිධාන ඇතුළත් කරනු ඇතැයි යන්නයි. ඒ් නිසා අපත් කම්කරු අමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම ලිපි යොමු කළා. සාකච්ඡාවක් සඳහා අවස්ථාව ඉල්ලුවා. තාමත් ඒ් සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක් අපට ලැබුණෙ නෑ. 
 
2021 අගෝස්තු 04 හිටපු කම්කරු ඇමති නිමල් සිරිපාලද සිල්වා අපට මේ ගැන පොරොන්දුවක් දුන්නා. ඔහු එදින  පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ගෘහස්ථ කම්කරුවන්ට අදාළව EPF/ETF පනත් සංශෝධනය කිරීමටත්, ඔවුන්ට වෙනම පඩිපාලක සභාවක් සැදීමටත්, ජාතික අවම වේතනය සංශෝධනය කරමින් ගෘහස්ථ කම්කරුවන්ට අවම වේතනයක් ලබාදීමටත් වැඩපිළිවෙළක් සකසන බවයි. ජාතික අවම වේතනයක් පිළිබඳ අප විසින් අවධානය යොමුකරවනු ලැබුවේ කොළඹ සහ අවට බොහෝ විට ගෘහස්ථ කම්කරුවන්ට මසකට රු.25,000-30,000ක වගේ වැටුපක් ලැබුණත්, නුවරඑළිය දිස්ත්‍රීක්කය වගේ දුර පළාතක දවසටම රු.300ක්, මාසෙම රු.5000-6000 වැනි මුදලකට වැඩකරන අය තාම ඉන්නවා. මේ තත්ත්වය වෙනස් කරමින් රටටම බලපත්වන පරිදි අවම වැටුපත් අවශ්‍ය වෙන්නේ අවම  ජීවන තත්ත්වයක් හෝ පවත්වාගෙන යාමටයි. ඉතිං මේ ගැන 2021 දි හිටපු කම්කරු ඇමතිවරයා දුන්නු පොරොන්දුව අනුව ගත්තු ක්‍රියාමාර්ග මොනවද කියල දැනගන්න අපි තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ඉල්ලා තිබෙනවා. තාමත් නිසි තොරතුරක් නම් ලැබුණෙ නෑ. අමාත්‍යංශය කියන්නේ දෙපාර්තමේන්තුවෙ වැඩක් කියලා. දෙපාර්තමේන්තුව කියන්නේ අමාත්‍යංශයේ වැඩක් කියලා. 
 
ඉෂාලිනිගේ සිදුවීමට අදාළ කාරණයේදී ඉෂාලිනි මැරුණා. එතනින් ඒ් සිදුවීම ඉවරයි. බාලවයස්කාර දැරියක් විදිහට සේවයට ඒ්ම ගැන එතනදී ‍සාකච්ඡා වුණා. අවසන් තීරණය වුණේ අවුරුදු 16ට අඩු නම් ගෘහ සේවයේ යොදවන්න බෑ කියලා නීතිය සංශෝධනය වීම පමණයි. ඇයගේ මරණය මරණයක්ද? ඝාතනයක්ද? එයට වගකිවයුතු අය කවුද? ඒ් අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මේ කිසිදු කාරණයක් සාකච්ඡාවට ආවෙ නෑ. මොකාවත්තේ රමණී කියලා දැරියකගේ ජීවිතය අහිමිවීම ගැන කතාවක් ආවා. අන්තිමට තහවුරු කරනු ලැබුවේ ඇය ආසාවට ස්වීමිං ෆූල් එකේ නාන්න ගිහින් ගිලිලා මැරුණා කියලයි. සුධර්මා නෙත්තිකුමාරගේ ගෙදර සේවයේ සිටියදී සිදුවූ හොරකමක් ගැන කියමින් ඇයගේ නිවසේ සේවය කළ රාජකුමාරිය කියන අය ගේ මරණය සම්බන්ධයෙන් දැන් පොලිස් පරීක්ෂණ කියන්නේ ඇය පහරදීමට ලක්වෙලා, පාර අයිනේ වැටී සිටියදී ගෙනාව බවටයි. දැන් කතාව ඒ් විදිහට ඉස්මතු කරමින් ඉන්නවා. මේ සිද්ධි ගණනාවක් එක්ක තියෙන්නේ වතුකරවෙන් කොළඹ එන ගෘහස්ථ කම්කරු ජනයාට ඉතාම පහත් විදිහට සලකන බවයි. මේ තත්ත්වය වහා වෙනස් විය යුතුයි. "
 
 
 
පී.ඩබ් මුතුකුඩආරච්චි