ගෝලීය හා දේශීය වශයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරයේ පසුබැසීම සිදුව ඇත්තේ ඇයි?

ගෝලීය හා දේශීය වශයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරයේ පසුබැසීම සිදුව ඇත්තේ ඇයි?
ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් 53 හර්තාලය මෙන්ම 80 වැඩවර්ජනය ගැන විධිමත් ලෙස අධ්‍යයනය කළ යුතු බවත්, එයින් බොහෝ ‌දේ උගතහැකි බවත්, පර්යේෂකයෙක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක පවසයි.
 
වත්මන්හි ශ්‍රී ලංකාව මෙන්ම ගෝලීය වශයෙන් ලෝකයේ බොහෝ රටවල වෘත්තීය සමිති ව්‍යාපාරයේ බිඳවැටීමක් දක්නට ලැබෙන බවත්, එය බිඳ වැටීමකටත් වඩා පසුබැසීමක් ලෙස සැලකීමට තමන් කැමති බවත් ඔහු කියා සිටියේ පසුගියදා වැඩබිම විසින් සංවිධානය කරන ලද සංවාදශීලි සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.
 
කෙසේ වෙතත් ඒ් සඳහා බලපාන්නට ඇතැයි තමන් විශ්වාස කරන හේතු සාධක ගණනාවක් ඔහු ගෙනහැර පෑවේය.
 
ඒ් පහත පරිදිය.
 
 
01. ලෝක සමාජවාදී ව්‍යාපාරය බිඳවැටීම
                       බර්ලින් තාත්පය බිඳ වැටීමට ප්‍රථම වාමාංශික ව්‍යාපාරය හා බැඳුණු ශක්තිමත් වෘත්තීය සමිති පැවති අතර එයට සෘජුව හා වක්‍රව සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුරේ සෘජු හා වක්‍ර සහය ලැබීම. මේ නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හැ බැඳුණු න්‍යායාත්මක පදනමක් හා ආධාර අනුබල ලැබීමේ මාර්ගයක් අවහිරවීම සිදුවිය.
 
02. පක්ෂ ක්‍රමය බිඳ වැටීම.
                      ලංකාවේ මෙන්ම ආසියාතික බොහෝ රටවල වෘත්තීය සමිති සෘජු වශයෙන් දේශපාලන පක්ෂ සමඟ බැඳී පැවතීම මෙන්ම මේ වන විට පක්ෂ ක්‍රමය අර්බුදයට ගොස් ඇති නිසා ඒ් බැඳී පවතින වෘත්තීය සමිති ව්‍යාපාරයද, අර්බුදයට යාම අනිවාර්ය බව පිළිගත හැකිය. පක්ෂ ක්‍රමය සමඟ අනන්‍ය වූ විට ඒ් ඒ් වෘත්තීය සමිති වල ස්වාධීනත්වය පිළිගත ගැටළු පැනනැඟිය හැකි වුවත්, පක්ෂ විසින් වෘත්තීය සමිතිවලට මග කියාදෙන බැවින්, ඔවුන්ට සහයට සිටගන්නා බැවින් අන්‍යෝන්‍ය ක්‍රියාකාරිත්වය සමඟ දෙපාර්ශ්වයම ශක්තිමක්වීමක් සිදුවිය.
 
03. පුවත්පත් කියවන පාඨක ප්‍රජාව අඩුවීම.
                        වෘත්තීය සමිති වල අදහස් හා දැනුම බොහෝ විට සිය සාමාජිකයින් හා ජනතාව වෙත ගෙන ගිය ප්‍රමුඛතම වාහකය වූයේ පුවත්පත් හා මුද්‍රිත ලේඛන(ලීෆ්ලට්/පෝස්ටර්/ලිපි/පත්‍රිකා) බැවින් ඒ්වා කියවන පිරිස් අඩුවීම. කියවීම තුළින් අවබෝධය ලබා ගැනීම යම් සංස්කෘතික පුරුද්දක් වුවද, එය ක්‍රමයෙන් අවමවීම. ක්ෂණිකව කියවා ඇතැම්විට අදහසක් ගෙන ඊළඟ මොහොතේ අදහස අමතක කරන දමන විදිහේ සමාජ මාධ්‍ය පුරුදුවලින් එහාට ගිය දැනුම හා අත්දැකීම් වර්ධනය කර ගැනීමක් පුවත්පත් හා මුද්‍රණ ප්‍රචාරණය සමඟ බැඳී පැවතුණි. ඒ් ඒ් වෘත්තීය සමිතිවලට පවා, වාමාංශික පක්ෂවලට පවා අනන්‍ය වූ පක්ෂ අභ්‍යන්තර පුවත්පත් පැවති අතර ඒ්වායින් සාමාජිකත්වය බලමුළු ගැන්වීමට ඉමහත් පිටුවහලක් විය.
 
04. ගෝලීයකරණයේ අභියෝගය
                     ගෝලීයකරණය සමගින් නව දැනුම, තාක්ෂණය, වෙළෙඳපොළ පුළුල්වීම, කර්මාන්ත ගෝලීයකරණය වීම තුළ වෘත්තීය සමිති තම උපාය උපක්‍රම, සංවිධාන ව්‍යුහය, ඊට සමගාමීව වර්ධනය කර ගැනීමට අපොහොසත් වීම. විශේෂයෙන්ම තවදුරටත් පැරණි ක්‍රමෝපායන් ඔස්සේ සංවිධානය වීම හා ක්‍රියාකාරීවීම තාර්කික නොවන බවක් පෙනීයාම. සංවිධානවීමේදී පවා අන්තර්ජාතික ( ගෝලීය) සහයෝගිතාවන් පිළිබඳ නොතකා හරින්නට බැරි තැනට කටයුතු යෙදී තිබීම.
 
05. කොවිඩ් 19 වසංගතයේ බලපෑම
                  කොවිඩ් හේතුවෙන් වෘත්තීය සමිති ව්‍යාපාරයේ පසුබැසීම තවත් තීව්‍ර කරන ලදීඅර්. මෙහිදී ආයතන පාඩු ලැබීම, ආයතන බොහොමයක් වසා දැමීම නිසා සේවකයින්ට රැකියා අහිමිවීම් මෙන්ම මෙතෙක් ලැබුණු යම් යම් වරප්‍රසාද කප්පාදුවීමත්, ජීවත්වීමත් අර්බුදයක් බවට පත්විය. මේ නව තත්ත්වය යටතේ තම සාමාජිකයින් ආරක්ෂා කර ගැනීම මෙන්ම ඔවුන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදීමට වෘත්තීය සමිති නායකත්වයට හැකියාවක් නොවීමත්, වෘත්තීය සමිති අතාර්කිකවීමත් සිදුවිය. මේ නිසා සාමාජිකයින් වෘත්තීය මෙන්ම වෘත්තීය සමිතිද, හැරයන මෙන්ම හැරයන්නට සිදුවන ප්‍රායෝගික තත්ත්වයකට මුහුණදෙන්නට සිදුවිය.
 
 
06. නවලිබරල්වාදය ගොලීය ප්‍රවණතාවක් වීම.
                 නව ලිබරල්වාදී ආර්ථික උපාය උපක්‍රම හා එහි ගෝලීය සබඳතා කෙරෙහි වෘත්තීය සමිති සංවේදී නොවීම. කර්මාන්තමය ස්වරූපය නව ලිබරල් ආකෘතියේ නව තාක්ෂණික හා වෙළෙඳ උපක්‍රම සමග වෙනස් වන විට ඒ් හා සමගාමීව දැනුම හා අත්දැකීම් පුළුල් කර ගැනීමට පැරණි වෘත්තීය සමිතිවලට නොහැකිවීම.
 
07. අවිධිමත් රැකියා ක්ෂේත්‍රය පුළුල් වීම
                අවිධිමත් රැකියා ක්ෂේත්‍රය තුළ නිදහස්, ස්වාධීන, නම්‍යශීලි වැඩ පැය ආදිය මෙන්ම ලෝක ආර්ථික ප්‍රවණතා හේතුවෙන් වඩ වඩාත් අවිධිමත් රැකියා තුළට අලුත් පරපුර යොමුවීමත්, නූතන යුගයේ රැකියාවලින් බොහෝ පිරිස් එළියට විසිවීම නිසා ඔවුන්ද, මෙම ක්ෂේත්‍රයට ඇතුළත් වීමත් නිසා මෙම ක්ෂේත්‍රය පුළුල්වීමත්, මොවුන් විධිමත් වෘත්තීය සමිති රාමුව තුළට සංවිධානය කර ගැනීමේ ප්‍රායෝගික දුෂ්කරතාවක් තිබීම.
 
* Yuval Noah Harari විසින් කෘති හා ශාස්ත්‍රීය ලිපි ගණනාවකින් පවසන නව ගෝලීය තත්ත්වය හමුවේ රැකියාවන් ගණනාවන් අර්බුදයට යන අතර මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය, උපදේශනය, දත්ත එකතු කිරීම හා විශ්ලේෂණය කිරීම වැනි වෙනත් වෘත්තීය ක්ෂේත්‍ර ගණනාවක් විවෘතවීම දැකිය හැකියි. එම නිසා නව තත්ත්වය අවබෝධ කරගත යුතුවීම.
 
* අමෙරිකන් ඩොලරයට වඩා BIG DATA විනිමය වන යුගයක් උදාවීමට නියමිත අතර එයට මුහුණදිය යුතුවීම.
 
මෙම නව තත්ත්වයන් හඳුනා ගැනීම මෙන්ම සංවිධානවීමේ නව ආකෘති තුළ මේවා ස්ථාන ගත කර ගැනීමත් සිදුකර ගත යුතු බවත්, අභියෝගයට සාර්ථකව මුහුණදීමට නම් එය කළ යුතුව ඇති බවත්, මලිත් ජයතිලක මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
 
 
පී.ඩබ් මුතුකුඩආරච්චි