සේවක අරමුදල් අවදානම ගැන කතා කරන්න මුදල් මණ්ඩල සභාපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලයි

සේවක අරමුදල් අවදානම ගැන කතා කරන්න මුදල් මණ්ඩල සභාපතිවරයාගෙන් අවස්ථාවක් ඉල්ලයි

දේශිය ණය ප‍්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හරහා සේවක අරමුදල් අවදානම පිළිබඳව හා සාමාජිකයන්ට සිදුවන අලාභයට වර්තමාන භාරකාර මණ්ඩලය සම්පූර්ණයෙන් වගකිව යුතු බවත් අවධාරණය කරමින් මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීම සඳහා අන්තර් සමාගම් සේවක සංගමය විසින් ශ්‍රී ලංකා මහා බැංකුවේ, මුල්‍ය මන්ඩල සභාපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, දේශිය ණය ප‍්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හරහා මේ වනවිට දැඩි අවදානමකට ලක්ව ඇත්තේ රටේ වැඩකරන ජනතාවගේ අරමුදල්ය. ශ්‍රී ලංකා මහ බැංකුව ප‍්‍රසිද්ධ කර ඇති දැන්වීම් මෙන්ම පාර්ලිමේන්තුව තුල සම්මත කරන ලද යෝජනාව ද අනුව සේවක අරමුදල් ආයෝජන කර ඇති භාණ්ඩාගාර බැඳුම්කර, නව බැඳුම්කර නිකුතුවක් හරහා පොලී ආදායම අහිමි කිරීමේ යෝජනාවකි. එමෙන්ම එසේ එම ප්‍රතිව්‍යුහගතකරණ බැඳුම්කරයට එක නොවන අරමුදල් මත 30% ක බද්දක් අයකනර බවට ද වක්‍රාකාර තර්ජනයක් කර ඇත. මෙය ආණ්ඩුවේ අත්තනෝමතික සහ අයුක්ති සහගත ක්‍රියාවක් වන අතර සේවක අරමුදල් කොල්ලකන නීත්‍යානුකූල ක්‍රමය ද බවට පත්කරගෙන ඇත.

ණය ප‍්‍රතිව්‍යුහගතකරණය සඳහා අදාල කරගෙන ඇත්තේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර කොටසක් වීම ආණ්ඩුවේ ‘‘තක්කඩි කම’’ තවදුරටත් තහවුරු කරන්නකි. 2022 දෙසැම්බර් වනවිට භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන කර ඇති, සේවක අරමුදල් හැර අන් කිසිවෙකුට මෙම බලපෑම සිදුකර නැත. ඒ

වනවිට රු.බිලියන 7860 ක් වූ ආයෝජන තුල EPF ආයෝජන ඇත්තේ බිලියන 3200 ක පමණ ප‍්‍රමානයකි. මෙය අසාධාරණ ක්‍රමයකි. එමෙන්ම ආණ්ඩුවේ යෝජනාවට අකැමැති වන්නේ නම් 30% ක බද්දක් අයකරන බවට අනියම් ලෙස කර ඇති තර්ජනය ද යුක්ති සහගත නැත.

මෙම ක්‍රියාවලිය තුල ඇති අනිකුත් කාරණය වන්නේ මෙම අරමුදල් වලින් ණය ලබාගෙන ඇති රජය එම ණය වල පොලිය ඒකපාර්ශවිකව කපා දැමීමට සේවක අරමුදල් වලට තර්ජනය කිරීමය. ඉතිහාසයේ සිටම විවිධ අවස්ථාවල කොටස් වෙළඳපොල ආයෝජන හරහා 2008-2012 යටතේ විශාල මුදලක් අරමුදලට අහිමි විය. 2017 බැඳුම්කර වංචාව හරහා ද විශාල මුදලක් අහිමි විය. මේ වනවිට අරමුදල කර ඇති ආයෝජන වල පොලිය අඩුකර සේවකයන්ට අඩු පොලියට බැඳුම්කරයක් ලබාගැනීමට එකඟවන ලෙස සිදුකරන බලපෑම මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වන්නේය. එමෙන්ම මෙම යෝජනාවට එකඟ වුවහොත් ඉදිරි වර්ෂයක් සඳහා 2023 සිට 2038 දක්වා අතිවිශාල මුදලක් සේවකයන්ට (අරමුදලේ සාමාජිකයන්ට) අහිමි වෙයි. එය රුපියල් දශලක්ෂයක් ඇති සාමාජිකයෙකුට රුපියල් ලක්ෂයකට වැඩි වාර්ෂික අහිමි වීමකි.

විශ‍්‍රාම වැටුප් හිමිකමක් නැති පෞද්ගලික අංශයේ ලක්‍ෂ 24 ක් පමණ සක්‍රිය දායකත්වයක් ඇති මෙම අරමුදල දේශිය ණය ප‍්‍රතිව්‍යුහගතකරණය ක්‍රියාවලියට එකඟ වීම අප දැඩිව ප‍්‍රතික්‍ෂෙප කරමු. සේවක අරමුදල් සාමාජිකයන්ගේ කැමැත්තක් නැතිව මෙම ආදායම් අහිමිකර ගැනීමේ යෝජනාවට අප සංගමය දැඩි විරෝධය පලකර සිටිමු. එබැවින් DDR යෝජනාවට අරමුදල් භාරකරුවන් ලෙස කිසිසේත් එකඟ නොවන ලෙසත්, එසේ එකඟවන්නේ නම් සාමාජිකයන්ට සිදුවන අලාභයට වර්තමාන භාරකාර මණ්ඩලය සම්පූර්ණයෙන් වගකිව යුතු බවත් අවධාරණය කරන අතර මේ සඳහා තවදුරටත් සාකාච්ඡා කර ගැනීමට අප සංගමයට කඩිනම් සාකච්ඡාවක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිමු.