ආර්ථික අර්බුදයෙන් රැකියා අහිමි වූවන්ට රැකියා දීම ගැන හොයන්න කමිටුවක්
රට තුළ මතු වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන් යළි රැකියාගත කිරීම සඳහා වන ක්‍රමෝපාය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පත් කර තිබේ..
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී අදාළ කමිටුව පත් කිරීමට පියවර ගැනුණි.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ක්‍රියාකාරී කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ආර්ථික ස්ථායිතා සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය, ප්‍රවාහන අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල ලේකම්වරු කටයතු කිරීමට නියමිතය..
ආර්ථික අර්බුදය හේතුවෙන් රැකියා අහිමිවූවන් සම්බන්ධයෙන් කටයුතු කිරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍යවරයාව සිටිය දී ත්‍රෛපාර්ශවික කමිටුවක් පත් කරනු ලැබූ අතර එම කමිටුව විසින් රැකියා අහිමිවූවන් යළි රැකියා ගත කිරීම සදහා වන ක්‍රමෝපාය වැඩපිළිවෙළක් සකස් කර එය ක්‍රියාත්මක කිරීමේ වගකීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයට පැවරිමට කටයුතු කරන ලදී.
එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදෙන ලෙස ලෝක කම්කරු සංවිධානයෙන් ඉල්ලා තිබු අතර, ලෝක කම්කරු සංවිධානය විසින් සමීක්ෂණයක් සිදුකර එහි අවසන් වාර්තාව ද අමාත්‍යාංශය වෙත භාර දීමට කටයුතු කරනු ලැබිණි.
අනතුරුව ත්‍රෛපාර්ශවික කමිටුව විසින් සාකච්ඡා වට ගණනාවක දී දීර්ඝ ලෙස සාකච්ඡා කර දීර්ඝ කාලීන, මධ්‍ය කාලීන හා කෙටි කාලීන වශයෙන් හඳුනාගෙන තිබූ විසඳුම් ක්‍රියාත්මක කිරීම අද දින පත් කළ කමිටුවට පැවරෙන අතර ඉදිරියේ දී රැකියා අවස්ථාවන් වැඩි වශයෙන් බිහිවන ක්ෂේත්‍රයන් හඳුනාගෙන එම රැකියා අවස්ථා වෙත පුද්ගලයින් යොමු කිරීම සඳහා වන සුදුසුකම් සපුරාලීම සඳහා සූදානම් කෙරෙන වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.