සද්දන්තයන් සුරකින්නට කාටුන් ශිල්පීන් අත්වැල් බැඳගනියි

සද්දන්තයන් සුරකින්නට කාටුන් ශිල්පීන් අත්වැල් බැඳගනියි

පසුගිය 12 දිනට යේදී තිබුණු ලෝක හස්ති දිනය නිමිති කරගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රකට පුවත්පත් හා වෙබ් කාටුන්ශිල්පීන් රැසක් අලි ඇතුන් වෙනුවන් අත්වැල් බැඳ ගත්හ. වචන සිය දහසකින් වත් ප්‍රකාශ කිරීමට නොහැකි අදහසක් ඉතා කෙටි කාලයක් තුළ, ඉතා තදින් සිතට වදින ආකාරයට තම කාටුන් නිර්මාණ හරහා ජනගත කිරීමටත්, ඒ ඔස්සේ බලධාරීන් අවධි කිරීමටත් කාටුන් ශිල්පීන් සතු හැකියාව අවිවාදිතය. එම විභවය මෙරට අලි ඇතුන් සංරක්ෂණය හා අලි-මිනිස් ගැටුම් කළමනාකරණය සම්බන්ධ ඇල්මැති පාර්ශව උනන්දු කරවීමට දායක කරගැනීම එහි අරමුණයි. මෙම ප්‍රයත්නයට මග පාදනු ලැබුවේ ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය යි.

මේ සඳහා අසංග ඉඳුනිල්, දයාන් කොට්ටච්චි, දර්ශන කරුණාතිලක, ආර්. සී. ප්‍රදීප්කුමාර්, අවන්ත ආටිගල, හසන්ත විජේනායක, අංජන ඉන්ද්‍රජිත්, මිෆ්රාස් මුසම්මිල්, සුසිල් පෙරේරා සහ වසන්ත සිරිවර්ධන වැනි දිවයිනේ ප්‍රමුඛ හා ප්‍රතිභාපූර්ණ කාටුන් ශිල්පීන් තම දායකත්වය ලබා දුන්හ. එම ශිල්පීන් මගින් ලෝක හස්ති දිනය ඉලක්ක කර ඔවුන්ගේ මධ්‍ය ආයතන වෙත කාටුන් නිර්මාණ ලබාදීමට අමතරව ඔවුන් විසින් අඳින ලද කාටුන් දිවයිනේ ස්ථාන ගණනාවකදී ප්‍රදර්ශනය කිරීමට ද ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය මගින් කටයුතු කෙරිණි. ඒ හරහා පොදු ජනතාව තුලද අලි ඇතුන් සංරක්ෂණය පිළිබඳ උනන්දුවක් ඇතිකිරීම අරමුණු විය.

එම කාටුන් ප්‍රදර්ශන ඉකුත් 12 සහ 13 දිනයන් වලදී පින්නවල අලි අනාථාගාරය, උඩවලව ඇත් අතුරු සෙවණ, පේරාදෙණිය උද්භිඳ උද්‍යානය, ගල්ගමුව සත්ව අහිංසා ස්මාරකය, වවුනියාව විශ්වවිද්‍යාලය, හා ගාල්ල කොටු පවුර යන පරිශ්‍ර වල මෙන්ම අම්පාර, උහන සහ සූරියවැව යන නගර වල පැවැත්විණි. ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, ජාතික උද්භිඳ උද්‍යාන දෙපාර්තමේන්තුව, වවුනියාව විශ්වවිද්‍යාලය, ගල්ගමුව ප්‍රාදේශීය සභාව, ශ්‍රී ලංකා තරුණ සත්ව වේදීන්ගේ සංගමය, වනජීවී සංරක්ෂණ සංගමය - ගාල්ල, ශ්‍රී ලංකා යොවුන් ගවේෂණ සංගමය, අහිංසා ශ්‍රී ලංකා සහ සොබාදහම් පාසල යන ආයතන සහ සංවිධාන වල සහාය ලැබුණි.