ගිවිසුමට පිටින් ඖෂධ සංස්ථා සේවකයින්ට කෝටි ගණන් ගෙවලා

  ගිවිසුමට පිටින් ඖෂධ සංස්ථා සේවකයින්ට කෝටි ගණන් ගෙවලා
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවකයන්ට අදාළ ගිවිසුම අනුව ප්‍රසාද දීමනා නොගෙවිය යුතු බවට දන්වා තිබියදී රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට වැඩි ප්‍රසාද දීමනා පසුගිය වර්ෂයේදී   ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවේ දැක්වෙයි.
 
එක් සේවකයකුට රුපියල් විසිදාහ බැවින් මෙම ප්‍රසාද දීමනා ගෙවා ඇති අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම සංස්ථාවේ  පාලනාධිකාරිය පවසන්නේ සාමූහික ගිවිසුමෙන් වාර්ෂික ප්‍රසාද දීමනා ගෙවීමට අනුමැතිය ලැබී ඇති බවයි.
 
එසේ වුවද, චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව කටයුතු කරන ලෙස විගණන අංශය නිර්දේශ කර ඇත.
 
මාණ්ඩලික නිලධාරීන්ට ණය පහසුකම් තාවකාලිකව අත්හිටුවිය  යුතු බව දන්වා තිබුණද, ඉන් බැහැරව නිලධාරීන් 26 දෙනකුට මාසිකව  රුපියල් හැට ලක්ෂයකට වැඩි මුදලක් ගෙවා ඇතැයි මෙම විගණන වාර්තාව සඳහන් කරයි.
 
සම්බන්ධයෙන් කරුණු දක්වන ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් පවසන්නේ අත්තිකාරම් ගිණුම යටතේ මුදල්  සපයනු නොලබන බවයි.
 
 
මේ අතර සේවක නිවාඩු කාර්යාල හා සාප්පු පනතේ විධිවිධානවලට අනුකූලව ගණනය කළ යුතුවුවද,  ඉන් බැහැරව 2022 වර්ෂයේදී  සේවක ඉතිරි නිවාඩු වෙනුවෙන්  රුපියල් කෝටි 5 කට ආසන්න වටිනා  දීමනා ගෙවා ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නිලධාරීන් පවසන්නේ සාමූහික  ගිවිසුමෙන් මීට අදාළ අනුමැතිය ආවරණය වී ඇති බවයි.
 
කෙසේ වෙතත් චක්‍රලේඛ විධිවිධාන වල ප්‍රකාරව කටයුතු කළ යුතු බව විගණන අංශ දැනුම් දී ඇත.
 
මේ අතර ආයතනයේ අවදානම් අවම කිරීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවදානම් කළමනාකරන කමිටුවක් පත් කිරීමට නියෝග කර තිබියදී මේ වසරේ මාර්තු 31 වන විටත් එම කමිටුව පත් කර නොතිබූ බව එම විගණන වාර්තාව පෙන්වා දෙයි.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාලනාධිකාරිය පවසන්නේ අවදානම් කළමනාකරණ කමිටුව පිහිටුවීමට කටයුතු කරන බවයි.
 
මේ අතර සංස්ථාවට ව්‍යවසාය සම්පත් සැලසුම්කරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා මිලදී ගෙන ඇති පරිගණක සහ උපාංග ස්ථාවර වත්කම් අයිතම හතරකින් ඒකක 36 ක් පසුගිය මාර්තු මස 17 වන විටත් භාවිතයට නොගෙන ගබඩාවේ  නිකරුණේ  තිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාලනාධිකාරිය පවසන්නේ මෙම පරිගණක උපාංග අවශ්‍යතාව අනුව ආයතනයේ වෙනත් අංශ සඳහා භාවිතා කරමින් පාඩුවක් නොවීමට වගබලා ගන්නා බවයි.