තැපෑල් සේවක නිවාඩු අවලංගුයි ; නුවරඑළිය තැපැල් කන්තෝරුව ටාජ් සමුද්‍රා හෝටලයට?

තැපෑල් සේවක නිවාඩු අවලංගුයි ; නුවරඑළිය තැපැල් කන්තෝරුව ටාජ් සමුද්‍රා හෝටලයට?

අද (07) මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයින් වර්ජනයකට සූදානම් වීමත් සමග, වහාම ක්‍රියාත්මක වන පරිදි ඉදිරි දින තුන තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසන්නේ නොවැම්බර් 08, 09 හා 10 දින තුන තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි.

රජය විසින් නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක කටයුතු සඳහා යෙදවීමට ගත් තීරණය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කිරීමට මෙම වර්ජනය පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

නුවරඑළිය තැපැල් කාර්යාලය දෙන්නෙ ටාජ් සමුද්‍රා හෝටලයට?

මේ අතර, අද (07) දින කැබිනට් මාධ්‍ය හමුව අමතමින් කැබිනට් ප්‍රකාශක – අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ විෂයභාර ඇමතිවරයා ලෙස නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක කටයුතු සඳහා යෙදවීමට ජනාධිපතිවරයා ගත් තීරණයට තමා සම්පූර්ණයෙන්ම එකඟ වන බවයි.

මේ වන විට නුවරඑළිය තැපැල් කාර්යාලය ගරා වැටෙමින්, නඩත්තු කරගත නොහැකිව පවතින බවත්, එම ‘අකර්මණ්‍ය වූ ඌණ උපයෝජිතව තිබෙන සම්පත ඵලදායිව’ ඉදිරිපත් කිරීමට යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ලැබී ඇතැයි ද ඔහු පැවසීය.

ටාජ් සමුද්‍රා හෝටලයේ නම සඳහන් කරමින් ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ මෙසේය :

“ටාජ් සමුද්‍රා හෝටලය…සංචාරක ව්‍යාපාරයේ, සංචාරකයින් වඩාත්ම ආකර්ෂණීය ගමනාන්තයත් නුවර එළිය. විශේෂයෙන් ඉන්දියන් සංචාරකයෝ සීතාඑළිය හරහා එන ප්‍රදේශයට… විශේෂ ආකර්ෂණයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ගේ හෝටලයක් ඉදිකිරීම තුළින් ඒ පළාතේ ජනතාවයේ ජීවන තත්ත්වය දියුණු වෙන්නත්, රස්සා අවස්ථා ජනිත වෙන්නත් ආදායම් මාර්ග වැඩි වෙන්නත් හේතු වෙනවා. ඒ නිසා මං විෂය භාර ඇමතිවරයා වශයෙන් සම්පූර්ණයෙන්ම කැමතියි වෙනත් ස්ථානයකට තැපැල් කාර්යාලය ගෙනිහිල්ලා එම ස්ථානය ඒ ව්‍යාපෘතිය සඳහා ලබාදෙන්න.”

(sri lanka mirror)