ප්‍රමිතියෙන් තොර කොන්ත්‍රාත් සහ ඖෂධ සැපයීම් සිදු කරන සමාගම් අසාදු ලේඛන ගත කිරීමට පියවර

ප්‍රමිතියෙන් තොර කොන්ත්‍රාත් සහ ඖෂධ සැපයීම් සිදු කරන සමාගම් අසාදු ලේඛන ගත කිරීමට පියවර

ජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ නිසි ප්‍රමිතියට කටයුතු නොකරන සමාගම් අසාදු ලේඛන ගත කිරීමට කටයුතු කරන බවත් මෙය සෑම ක්ෂේත්‍රයකටම අදාල විය යුතු බවත් එවැනි සමාගම් මෙරට තුළ වේ නම් ඒවා ද අසාදු ලේඛන ගත කිරීමට කටයුතු සිදු කල යුතු බවද එමෙන්ම ඖෂධ ක්‍රියාවලිය මිනිසුන්ගේ ජීවිත සමග සිදු කරන ගනුදෙනුවක් වන බැවින් ඒ සදහා වාර්ෂිකව බිලියන ගණනක් වැය කරන බවත් ඖෂධ සමාගම් ප්‍රමිතියෙන් යුතු ඖෂධ ජනතාවට ලබා දිය යුතු බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කරන ලද්දේ (14) දින සෞඛ්‍ය අමාත්‍යංශයේ දී, ඖෂධ නියාමනය, සැපයීම, බෙදහැරීම හා සම්බන්ධ කරුණු ගැන සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පාලනය වන වෛද්‍ය සැපයීම් අංශය, රාජ්‍ය ඖෂධ සංස්ථාව, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතන වල නිලධාරීන් සමග පැවති විශේෂ සාකච්ජාවකදීය.

මින් පසු ඖෂධ වල මිල තීරණය කිරීම සදහා  එක් මිල තීරණය කිරීමේ කමිටුවක් (pricing committee) හරහා කටයුතු සිදු කල යුතු බවටද, අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් අතර එමෙන්ම අමාත්‍යවරයා ව‍ශයෙන් තමන් ගෙන් වරදක් සිදු වනවා නම් එය ද, පෙන්වා දෙන ලෙසට ඉල්ලීමක් ද කල අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ජනතාවට ගුණාත්මක තත්වයෙන් ඉහල ඖෂධයක් රජය විසින් ලබා දෙන ක්‍රමවේදයක් සකස් කිරීමට තමන්ට අවශ්‍ය බවය.

වාර්ෂිකව ඩොලර් මිලියන 500 කට අධික මුදලක් මේ සදහා වැය කරන බවත් ඊට හොදම විසදුම මෙරටට අවශ්‍ය ඖෂධ මෙරට තුළ නිෂ්පාදනය කිරීම බවද පෙන්වා දුන්නේය. ‍

රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට මෙරටට අවශ්‍ය ඖෂධ අවශ්‍ය නිවැරදි ක්‍රමවේද මත ගෙන්වීමට කටයුතු කරන ලෙසත්‍, අක්ෂි කාච, ස්ටෙන්ස්, සිලින්ජර වැනි උපකරණ කෙරෙහි ද, වැඩි අවධානයක් යොමු කරන ලෙසටද සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මීට අමතරව ඉන්දියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර අනයෝන්‍ය අවබෝධයෙන් සිදු කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම අනුව අදාල පාර්ශවයන් සමග සාකච්ජා කර ක්‍රමවේදය කඩිනම් කිරීමටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා , රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා සහ රාජ්‍ය ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා එක්ව මෙම ක්‍රියාවලිය සිදු කරන ලෙසට ද උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම් (ප්‍රසම්පාදන) Y.L.M. නවාවි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ආරජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස්, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් D.R.K. හේරත්, එම අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.