රාජ්‍ය සේවයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය

පෞද්ගලික අංශයට සමාන යාන්ත්‍රණයක් රාජ්‍ය සේවයේ ආරවුල් නිරාකරණය කිරීම සඳහා හඳුන්වා දීමේ අරමුණින් සමාජ කතිකාවත, උපදේශනය, සමථකරණය සහ බේරුම්කරණය යන සංකල්ප මත පදනම්ව, ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් පිළිබඳ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2020-11-16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, සෞඛ්‍ය සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සේවා ස්ථාන 04ක අදාළ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තාක්ෂණික මූල්‍ය සහාය ලැබී තිබේ. එම නියමු ව්‍යාපෘතිය යටතේ නියමු සේවා ස්ථාන සංසද පිහිටුවා ඇති අතර, ඒවායේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් අදාළ පාර්ශ්වයන් අතර සහයෝගිතාව වර්ධනය වී ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා පදනමක් නිර්මාණය වන බව තහවුරු වී ඇත. එකී නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් අත්කර ගනු ලැබ ඇති සාර්ථකත්වය මත පදනම්ව, පහත සඳහන් පරිදි කටයුතු කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* රජයේ ආයතනවල සේවා ස්ථාන සංසද ස්ථාපිත කිරීම.

* සෞඛ්‍ය, ප්‍රවාහන, වරාය හා නාවික, විදුලිබල හා බලශක්ති, අධ්‍යාපන සහ අනෙකුත් අංශ සඳහා වෘත්තීය සංගම්වල හා කළමනාකාරිත්ව නියෝජිතයින්ගෙන් සමන්විත ආංශික සංසද පිහිටුවීම.

* වෘත්තීය සංගම්, අදාළ අමාත්‍යාංශ/ආංශික සභා, ආයතන අධ්‍යක්ෂ ජනරාල්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්ගෙන් සමන්විත ජාතික රාජ්‍ය සංවාද සංසදය පිහිටුවීම.

* පළාත් මට්ටමින් පළාත් සමථකරණ මණ්ඩල 09ක් ස්ථාපිත කිරීම.

* රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ ජාතික බේරුම්කරණ සංචිතයක් ස්ථාපිත කිරීම.