වෛද්‍ය චමල් සංජීවගේ නැවත සේවයේ පිහිටවීම ගැන නව සෞඛ්‍ය ලේකම් කළ නිර්දේශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මඟහරී

වෛද්‍ය චමල් සංජීවගේ නැවත සේවයේ පිහිටවීම ගැන නව සෞඛ්‍ය ලේකම් කළ නිර්දේශ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මඟහරී

මන්දපෝෂණය ගැන හෙළි කිරීම නිසා දැනට රාජකාරී වැඩ තහනමකට ලක්ව සිටින වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති  විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා, අදාල විමර්ශන කටයුතු ප්‍රමාණවත් කාලසීමාවක් ඇතුළත අවසන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය  අසමත් වීම මත වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය රමෙෂ් පතිරණ මහතාගේ ඉල්ලීම පරිදි රාජ්‍ය සේවයට එක්වීම සඳහා වන ලේඛන නිත්‍යානුකූල ලෙස නව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍යව පාලික මහිපාල මහතා වෙත  වෙත පසුගිය දෙසැම්බර් හතරවන  දින භාර දී ඇත.

එදිනම අදාල ලේඛන නියමිත පරිදි රාජ්‍ය සේවා කොමිෂන් සභාවට යොමු කිරීම සඳහා සෞබ්‍ය ලේකම් නිර්දේශ සඳහන් කොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලද නමුත්  සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අදාළ ලේඛන රාජ්‍ය සේවා කොම්ෂන් සභාවට යැවීම මේ දක්වා ප්‍රමාද කිරීම ඉතා කනගාටුදායක සහ පිළිකුල් සහගත ක්‍රියාවක් බව සිවිල් සංවිධාන එකමුතුව සඳහන් කරයි.

කොවිඩ් කාලසීමාවේ පටන්ම සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමටත් මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ තත්ත්වයෙන් බාල ඖෂධ නැතැයි ව්‍යාජ මත ජනගත කරමින් වර්තමාන සෞඛ්‍ය පද්ධතියේ කඩා වැටීමට සෘජුව වගකිව යුතු අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධනගේ මෙම ක්‍රියාව ඉතා පහත් හා අප්‍රසන්න ක්‍රියාවක් ලෙස ඔවුන්  හඳුන්වා ඇත.

එබැවින් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා නැවත සේවයේ පිහිටුවීම සඳහා ලබා දෙන ලද උපදෙස් කඩිනමින් ක්‍රියාත්මක කිරීමටත් සෞඛ්‍ය සේව අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් පවත්වන ලෙසත් සිවිල් සංවිධාන එකමුතුව ලෙස නව සෞඛ්‍ය ලේකම්වරයා වෙතින් ඉල්ලා ඇත.

මගෙන් රටට ජාතික ව්‍යාපාරයහි සංජය මහවත්ත ප්‍රමුඛ සිවිල් ක්‍රියාකාරීහු මේ බව සෞඛ්‍ය ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී ඇත.